Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner මැකාවෝ පිලට එරෙහි තරගය සමවෙයි

මැකාවෝ පිලට එරෙහි තරගය සමවෙයි

සංජය එරමුදුගොඩ - 2016 නොවැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අවසන් පූර්ව වටයෙන් ඉවතට ගොස් තිබියදීත් මැකාවෝ රාජ්‍යයට එරෙහිව පැවැති ආසියානු පාපන්දු සම්මේලන සහයෝගිතාතරගාවලියේ මූලික වටයේ අවසන් තරගය ගෝල 1-1 ක් ලෙස අවසන් කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

මෙම තරගයේ 8 වැනි විනාඩියේ සිට ගෝල 1-0 ක් ලෙස තරගයේ පෙරමුණේ පසුවූ ශ්‍රී ලංකාවට අවසන් මොහොතේ මැකාවෝ ක්‍රීඩකයන්ගේ ආක්‍රමණකාරීත්වය වළක්වා ගැනීමට අපොහොසත්වීම නිසා තරගය ජයපරාජයෙන් තොරව නිමාකර ගැනීමට සිදුවිය. තරගය පුරා වැඩි ගෞරව දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිස විනාඩි පහක් ගතවීමටත් පෙර ගෝලයක් වාර්තා කිරීමට සමත් විය. ඒ දැල ආසන්නයේදී මොහොමඞ් තාසිම් ලබා දුන් පන්දුව කවිඳු ඉෂාන් විසින් කෙළින්ම දැළ තුළට යැවූ පහරක් මගිනි.

මෙම තරගාවලියේ මූලික වටයට පමණක් තරග වැදීමේ අවස්ථාව හිමිවූ ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී රැස්කර ගත් දෙවැනි ගෝලය එසේ ඊයේ කවිඳු ඉෂාන් වෙතින් වාර්තා  විය. මෙම තරගයේ පළමු භාගය ගෝල 1-0 ක් ලෙස පෙරමුණේ අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

මැකාවෝ කණ්ඩායමට එරෙහි තරගය ජයපරාජයෙන් තොරව හෝ අවසන් කිරිමට ශ්‍රී ලංකාව සමත්වීමේ වැදගත්කම වන්නේ “බී” කාණ්ඩයේ මූලික වටයේ ප්‍රබලම කණඩායම බවට ඒ වන විටත් මැකාවෝ පත්ව සිටීම නිසාය.

ශ්‍රී ලංකාව මූලික වටයේ පළමු තරගයේදී ලාඕසය හමුවේ ගෝල 2-1 කින් පරාජය වුවත් ලාඕස කණ්ඩායම ගෝල 4-1 කින් පරාජය කිරිමට මැකාවෝ කණ්ඩායම සමත් විය. මොන්ගෝලියාවට එරෙහිව තරගය ද ඔවුන් ජය ගනිමින් අපරාජිත කණ්ඩායමක් බවට පත්ව සිටියත්, ශ්‍රී ලංකාව හමුවේ මැකාවෝ ඊයේ තරගයේ 87 වැනි විනාඩිය තෙක් ගත කළේ ශ්‍රී ලංකා පිලට පසුපසිනි. කෙසේ වෙතත් අවසන් මොහොතේදී ගෝලයක් ලබාගනිමින් තරගාවලියේ පළමු වටය අපරාජිතව අවසන් කිරීමට මැකාවෝ ක්‍රීඩකයෝ සමත් වූහ.

මෙම තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ඩඞ්ලි ස්ටේන්වෝල් මහතා පැවසුවේ, තරගාවලිය  පුරා අසමත්කමට වඩා අවාසනාව ශ්‍රී ලංකා කණ්ඩායමට තදින්ම බලපෑම් කළ බවයි.

වෙනස්කම් දෙකක් සමග පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට අලුතින් ඇතුළත්ව සිටියේ මීට පෙර කණ්ඩායමට කැඳවා නොතිබූ වලන චමීර හා සුනිල් රොෂාන්ය. සුභාෂ් මධුෂාන්ත හා නිපුණ දේවේන්ද්‍ර බණ්ඩාර මෙම තරගයට සහභාගි නොවූ අතර, එහිදී ආදේශ කිරීම් තුනක් වාර්තා විය. සුනිල් රොෂාන්, මොහොමඞ් රිෆ්නාස් හා මොහොමඞ් සර්වාන් 46, 63 හා 86 වැනි විනාඩිවලදී පිටියෙන් ඉවත්කරමින් ඒ වෙනුවට චමීර සජිත් අෆීල් මොහොමඞ් හා මධුෂාන් සිල්වා කැඳවනු ලැබුහ.

මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අනපේක්ෂිත ආක්‍රමණකාරී තරග රටාව පිළිබඳව තැතිගත් මැකාවෝ පුහුණුකරු කෙටි වේලාවක් තුළදී කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ආදේශන හතරක් සිදුකරනු දක්නට ලැබුණි. මැකාවෝ ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවට වඩා පියවර දෙකක් පසුපසින් (195) කණ්ඩායමක් වීම ද කැපී පෙනේ.

තරගාවලියට සහභාගි වීම අවසන් කළ ශ්‍රී ලංකා කණ්ඩායම පෙරළා 10 වැනිදා රාත්‍රියේදී දිවයිනට ළඟාවීමට නියමිතයව තිබිණ.  තරගාවලියේ අවසන් පූර්ව තරග ලබන ඉරිදාත් (12) අවසන් මහ තරගය ලබන අඟහරුවාදාත් (15) කුචින්ග් නුවර සර්වාක් පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මැකාවෝ, බෲනායි, නේපාලය හා ලාඕසය අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා සිටියහ. ටිමෝරය හා මොන්ගෝලියාව මුලික වටයේදීම පරාජය වූ සෙසු රටවල්ය.

 


අදහස් (0)

මැකාවෝ පිලට එරෙහි තරගය සමවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.