Last Update  :  2024-05-09 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner පාපන්දු සුපිරි තරු දස්කම් මුවහත් කරති

පාපන්දු සුපිරි තරු දස්කම් මුවහත් කරති

රොෂාන් ගුණරත්න - 2018 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලයනල් මෙසී

තවත් දිනයක ඇවෑමෙන් රුසියාවේ දී ආරම්භ වන පාපන්දු ලෝක කුසලාන තරගාවලියට පාපන්දු තරග බිමේ සුපිරිතම කණ්ඩායම් සූදානම් වෙද්දී ලෝක කුසලාන පාපන්දු තරගාවලිය බැබළවීමට සමත්විය හැකි සුපිරි තරු තම තමන්ගේ දස්කම් මුවහත් කරමින් සිටී. ඔවුන් අතර ආජන්ටිනාවේ සුපිරි තරුව ලයනල් මෙසී සහ ඔහුගේ සගයන්ද, ප්‍රංශයේ ඇන්ටෝනි ග්‍රිස්මාන් සහ කයිලියන් එම්බපේ ඇතුළු දක්ෂතා පිරිපුන් කණ්ඩායම්ද වෙහෙසී පුහුණුවීම් කරති. 

සත්කාරක රුසියාව සහ සෞදි අරාබිය අතර හෙට (බ්‍රහස්පතින්දා) පැවැත්වෙන සමාරම්භක තරගයට සියල්ල සූදානම් වෙමින් සිටිති. එහෙත් 2016 යුරෝපීය  පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට ක්‍රීඩා කළ ප්‍රංශය තිගැස්මකට සූදානම් විය යුතු යයි අන්තර්ජාතික පාපන්දු පිටියේ දුර්වල කණ්ඩායමක් ලෙස සැළකෙන ඕස්ටේ්‍රලියාව අනතුරු ඇඟවීමක් කර තිබේ. 

මැනුවෙන් නියුර්

බ්‍රසීලයේ පාපන්දු ලෝක කුසලාන 5ක් දිනාගැනීමේ වාර්තාව සමකිරීමේ අරමුණින් ලෝක ශූර ජර්මනිය හෙට රුසියාවට ළඟාවීමට නියමිතය. ඒ සමඟම ගැරත් සවුත්ගේට්ගේ තරුණ එංගලන්ත කණ්ඩායමත් පැමිණෙනු ඇත.

බ්‍රසීල කණ්ඩායම සහ නේමාර් සොචී නුවර පිහිටි බ්ලැක් සී රිසෝට් නිවාඩු නිකේතනය වෙත වේලාසනින්ම පැමිණ සිටින්නේ ඉරිදා ඕස්ටේ්‍රලියාව සමග පැවැති ඔවුන්ගේ අවසන් පුහුණු තරගය ගෝල් 3-0 කින් ජයගැනීමෙන් පසුවය. පසුගිය පෙබරවාරියේ සිය පාදයේ වළලු කර අස්ථියක් බිඳගත් නේමර් මාස තුනකට පසුව නැවත පිටියට පැමිණ ගෝලයක් ද වාර්තා කළේ බ්‍රසීල පාපන්දු ලෝලීන්ගේ බලාපොරොත්තු දල්වමිනි. එම ගෝලයත් සමගින් බ්‍රසීලය වෙනුවෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයන් වශයෙන් රොමාරියෝ හා කරට කර පැමිණි නේමාර් වඩා ඉදිරියෙන් දැන් සිටින්නේ රොනාල්ඩෝ සහ පේලේ පමණි. 

මේ අතර පාපන්දු තරග බිමේ දිදුළන තාරකාවක් වන පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වැඩි සද්දයක් බද්දයක් නැතිවම සිටී. ස්පාඤ්ඤයේ රියල් මැඞ්රිඞ් පිලට පිට පිටම තුන්වැනි වරටත් යුරෝපා තරගාවලියේ ශූරතාව දිනාදුන් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තමන්ගේ වාරය එනතුරු ඉවසිලිවන්තව සිටී. 

පෘතුගාලයේ ආරම්භක තරගයම ගිනිගෙඩියකි. ඒ ස්පාඤ්ඤ පිලට එරෙහිවය. මෙම තරගයේදී පෘතුගාලය බලාපොරොත්තු තබා ඇත්තේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ කෙරෙහිය. 

ආබාධයකට ලක්ව සිටීමෙන් මාස 8 කට පසුව නැවතත් ජාතික කණ්ඩායමට එක්වූ මැනුවෙන් නියුර් ජර්මානුවන්ට ගෙනෙන්නේ විශාල ශක්තියකි. ජෝකිම් ලියුගේ මෙහෙයවීමෙන් යුත් ජර්මන් කණ්ඩායම කවදත් සුපිරි තරුවලට වඩා සාමාන්‍ය මට්ටමේ ක්‍රීඩකයන්ගෙන් පිරී තිබුණද අවශ්‍ය වේලාවේදී අවශ්‍ය දේ කිරීමට සමත් කණ්ඩායමක් සේ පිළිගැනේ. පසුගියදා පැවැති පුහුණු තරගයේදී සෞදි අරාබිටයට එරෙහිව ජර්මානුවන් ලද 2-1 ක ජය තරග 5 කට පසුව ලද සාර්ථකත්වයකි. 

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ

චෝදනාවලින් කිළිටි වූ 2010 ඡන්ද විමසීමේදී රුසියාව මේ තරගාවලියේ සත්කාරකත්වය අත්කර ගත්තේ තර්ක විතර්ක රැසක් මැදය. එදා එසේ වූවත් රුසියාව මෙවර තරගාවලිය පවත්වන්නේ අන්තර්ජාතික මතභේද හා උණුසුම් වතාවරණය තඹයකට මායිම් නොකරමිනි. 

පසුගිය මාර්තුවේදී සර්ජී ස්ක්‍රිපාල්ට වස දී ඝාතනය කිරීමට උත්සාහ දැරීම පසුපස රුසියාව සිටින බවට ලන්ඩනය චෝදනා එල්ල කිරිමෙන් පසුව රුසියාව සහ බටහිර රටවල් අතර එකට එක කිරිමේ රාජ්‍යතාන්ත්‍රික නෙරපීම් රැල්ලක්ම ගලා ගියේය. නමුත්  කාලයේ ඇවෑමෙන් ක්‍රීඩාලෝලීන් 80,000කට ඉඩ ඇති මොස්කව් නුවර ලුස්නිකි ක්‍රීඩාංගණයේදී මේ තරගාවලියේ පළමු තරගය ආරම්භ වෙද්දී ජනතා අවධානය එහෙම පිටින්ම ඊට යොමුවනු ඇත. 

කසාන් නගරයේ පැවැති ඕස්ටේ්‍රලියා පිලේ පුහුණු සැසිය දැකබලා ගැනීමට ක්‍රීඩාලෝලීන් 3,500ක පමණ පිරිසක් එක්රොක් වූහ. රුසියානු ක්‍රීඩාලෝලීන් කෑගසන්නට වූයේ ‘ඔසී... ඔසී... ඔසී... ගෝ... ගෝ... ගෝ...‘ යනුවෙනි. 

මේ සෙනසුරාදා කසාන් නුවරදී දෙපිල මුණ ගැසුණු විට අලුතින් දියුණු වූ ඕස්ටේ්‍රලියාව හමුවේ වේලාසනින්ම තිගැස්මකට සූදානම් වන ලෙස ඕස්ටේ්‍රලියානු පිලේ ගෝල් රකින ක්‍රීඩක මැට් රයන් ප්‍රංශයට අනතුරු ඇඟවා තිබේ. 

“ඉස්සරහට එන්නේ ප්‍රංශ තරගයයි. අපි ඒකට ලැහැස්තියි. ඒ තරගය දිනන්න අපේ උපරිම දස්කම් දක්වනවා” යයි ප්‍රිමියර් ලීග් තරගාවලියේදී බ්‍රයිටන් පිලට ක්‍රීඩා කළ දැළ රකින්නා එසේ කීවේය.

“සෙනසුරාදා වෙනකල් අපිට ඉවසුමක් නෑ” යයිද ඔහු තවදුරටත් කයිවාරු ගැසුවේය. 

පාපන්දු ක්‍රීඩාව සම්බන්ධයෙන් ප්‍රංශයේ ඇත්තේ උරුමයක් සහ සාම්ප්‍රදායික හැඟීම් සමුදායකි. ඕස්ටේ්‍රලියානුවන්ට එවන් හැඟීමක් නැතත් ඕස්ටේ්‍රලියානුවෝ ක්‍රීඩාවේ ඉංජිනේරුවෝ වෙති. ඕස්ටේ්‍රලියානුවන්ගේ විශ්වාසය රඳා ඇත්තේ ක්‍රීඩාවේ විද්‍යාව කෙරෙහිය. 

ඕස්ටේ්‍රලියානු මැදපෙළ ක්‍රීඩක මැසීමෝ ලොන්ගෝට අනුව ප්‍රංශය ලෝක පූජිත ප්‍රහාරාත්මක දස්කම් ඇති කණ්ඩායමකි. ඔවුන් බ්‍රසීලයට, ජර්මනියට හා ස්පාඤ්ඤයට අමතරව මෙවර තරගාවලියේ ජනප්‍රියතම කණ්ඩායමකි. 

අඳුර වැටෙද්දී මොස්කව් නුවර රතු චතුරස්‍රය අසළ වෙනම සිරියක් ගත්තේ ආජන්ටිනාවේ, කොලොම්බියාවේ හා මෙක්සිකෝවේ ක්‍රීඩාලෝලීන් දුසිම් ගණන් එක්රොක්වී ඩ්‍රම්ස් වාදනය කරමින් ගීත ගයමින් තම තමන්ගේ කණ්ඩායම්වලට සහය පළ කිරීම නිසාය.

ලිවර්පූල් පිලේ ප්‍රහාරත්මක ක්‍රීඩක, ඊජිප්තු ජාතික මොහොමඞ් සාලාගේ සහභාගීත්වය විශාල ප්‍රශ්නාර්යක් නිර්මාණය කර තිබේ. පසුගිය  ශූරයන්ගේ ලීග් තරගාවලියේ අවසන් මහා තරගය අතරතුර උරහිසේ ආබාධයකට ලක්වූ සාලා තවමත් ප්‍රතිකාර ගනිමින් සිටියද ඔහුගේ නම ඊජිප්තු කණ්ඩායමේ තිබේ. 

මොහොමඞ් සාලා

කණ්ඩායමේ වෛද්‍යවරයා වන මොහොමඞ් අබූ අල් එලා කියන්නේ ලිවර්පූල් කණ්ඩායම වෙනුවෙන් මෙවර තරගවාරයේදි ගෝල් 44ක් රැස් කළ සාලා උරුගුවේ පිල සමග සිකුරාදා පැවැත්වෙන ‘ඒ‘ කාණ්ඩයේ ඔවුන්ගේ පළමු තරගයට ක්‍රීඩා කිරීම අවිනිශ්චිත බවය. නමුත් ග්‍රොස්නි හී දී ඊජිප්තු ක්‍රීඩකයන් සමූහයක් වශයෙන් පුහුණු සැසියට සහභාගි වෙද්දී සාලා වෙනම යම් තරමක පුහුණුවීම්වල නිරතවූ අතර වෛද්‍ය කාර්ය මණ්ඩලය එය නිරීක්ෂණය කරමින් සිටියේය. 

මේ අතර උරුගුවේ ගෝල් රකින්නා වන ෆර්නෑන්ඩෝ මුස්ලේරාගේ බලාපොරොත්තුව නම් දෙරට අතර පැවැත්වෙන තරගය සඳහා ක්‍රීඩා කිරීමට සාලාට හැකියාව ලැබෙනු ඇති බවය. 

“මම කැමතියි හොඳම ක්‍රීඩකයන් සෙල්ලම් කරනවානම්. මම හොඳින් පුහුණුවී සිටිනවා. මට ඕනා ඒ වගේම හොඳින් පුහුණුවූ ක්‍රීඩකයන් සමග ක්‍රීඩා කරන්නයි.” මුස්ලේරා කීවේය.

ආජන්ටිනාවේ නායක මෙසී කීවේ සිය අන්තර්ජාතික තරග දිවියේ අනාගතය සම්බන්ධයෙන් මෙවර ලෝක කුසලාන තරගාවලියේදී තම කණ්ඩායම දක්වන දස්කම් අනුව තීරණයක් ගන්නා බවය.

“ඒක රඳා පවතින්නේ අපි මේ තරගාවලියේ කොයිතරම් දුරට යනවාද කියන එක මතයි. අපි තරගාවලිය නිමා කරන ආකාරය මතයි.” මෙසී ස්පාඤ්ඤයේ ඬේලි ස්පෝට් පුවත්පතට එසේ කීවේය.

“අපි එක පෙළට ප්‍රධාන මට්ටමේ අවසන් මහා තරග 3ක්ම පරාද වුණා. ඒ නිසා අපිට මාධ්‍යවල සෑහෙන විවේචනවලට ලක්වෙන්නත් සිද්ධවුණා.” බාසිලෝනා පිලේ ඉදිරිපෙළ ක්‍රීඩකයා ද වන මෙසී කීවේය.

අවසන් වරට පැවැති (2014 වසරේ) පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ ලබාදුන් අතිරේක කාලයේදී ජර්මනිය හමුවේ ගෝල් 1-0 කින් පරාජයට පත්වූ ආර්ජන්ටිනාව කෝපා අමෙරිකා තරගාවලියේ 2015 සහ 2016 අවසන් මහා තරග 2 දීම චිලි කණ්ඩායම හමුවේ පරාජයට පත්වූයේ දඬුවම් පහර එල්ල කිරීමේ අවස්ථාවේදීය. 

මෙවර තරගාවලිය ආරම්භ කිරීමටත් පෙර අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ ප්‍රධානතම කර්තව්‍ය වී ඇත්තේ බදාදා පැවැත්වෙන වසර 2026 ලෝක කුසලාන තරගාවලියට සත්කාරකත්වය දෙන රට තෝරාගැනීමය. එක්සත් ජනපදය, කැනඩාව සහ මෙක්සිකෝව එක් පාර්ශ්වයක් ලෙසත්, මොරොක්කෝව තවත් පාර්ශ්වයක් ලෙසත් 2026 තරගාවලියේදී සත්කාරකත්වය ලබාගැනීමේ සටනට පිවිසී සිටිති. 

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ ආරංචි මාර්ගවලට අනුව පළමුවතාවට කණ්ඩායම් 48ක් තරග වැදීමට නියමිත 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සත්කාරත්වය දීමේ සටනේ ඉදිරියෙන්ම සිටින්නේ අමෙරිකානු පාර්ශ්වයයි. 

 


අදහස් (0)

පාපන්දු සුපිරි තරු දස්කම් මුවහත් කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.