Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner පාපන්දු ශූරතාව මහනුවරට

පාපන්දු ශූරතාව මහනුවරට

සංජය එරමුදුගොඩ - 2016 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 28 ක ජාතික යොවුන් ක්‍රීඩා ඉතිහාසයේ පළමු වතාවට පාපන්දු රන් පදක්කම දිනා ගැනීමට මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම සමත් විය. බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී අද (25) නිමාවට පත්වූ 28 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ පාපන්දු අවසන් මහ තරගයේදී ගෝල 4-0 කින් බදුල්ල දිස්ත්‍රික් කණ්ඩායම බදුල්ලේදීම පරාජයට පත් කරමින් එහිදී මහනුවර කණ්ඩායම පාපන්දු ශූරතාව හිමිකර ගත්තේය.

මෙම තරගය නැරඹීම සඳහා වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයට අතිවිශාල ජනකායක් රැස්ව සිටීම කැපී පෙණුනි. මහනුවර කණ්ඩායම් ජයග්‍රහණයේ නියමුවා වූයේ ගෝල ත්‍රිත්වයක් ලබා ගනිමින් දස්කම් දැක්වූ සුරංජි රාජපක්ෂය. මෙවර පාපන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවටද පත්වූ සුරංජි 26, 62 හා 73 යන විනාඩිවලදී එම ගෝල වාර්තා කළේ බදුල්ල කණ්ඩායම් ජයපතා එහි පැමිණ සිටි සිය ගම්පළාතේ නරඹන්නන්ගේ අපේක්ෂා සුන් කරමිනි.

මෙම තරගයේ පළමු භාගයේදීම ගෝල 2-0කට ඉදිරියෙන් පසුවීමට මහනුවර ක්‍රීඩකයෝ සමත්වූහ. එම කණ්ඩායමේ පුහුණුකරු කේ.එම්.පී.එන්. කෝනාර මහතා පැවැසුවේ මහනුවර ‘සිසු’ ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් බහුතරයකින් සමන්විත සිය කණ්ඩායම යාපනයේදී පැවැත්වෙන ජාතික මහ ක්‍රීඩා උළෙලේදී මධ්‍යම පළාත් කණ්ඩායම ලෙස එම තරගාවලියට ඉදිරිපත් වන බවය.

තරගයේ 12 වැනි විනාඩියේදී දමිත් කුමාරසිරි ලබාගත් පළමු ගෝලයත් සමග මහනුවර කණ්ඩායම වඩාත් ජවයක් ලබා ගනිමින් මෙම තරගයට මුහුණදුන් බවක් පෙණුනි.

මේ අතර ක්‍රීඩා උළෙලේ වොලිබෝල් කාන්තා හා පිරිමි ශූරතා දෙකම දිනා ගනිමින් මෙවර එහි රන් පදක්කම් දෙකම දිනා ගැනීමට කෑගල්ල සමත්විය. පිරිමි අවසන් මහ තරගයේදී වට 3/0ක් පරිදි ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායමද අවසන් මහ තරගයෙන් වට 3/0ක් ලෙස මාතර දිස්ත්‍රික් කණ්ඩායමද පරාජයට පත් කරමින් කෑගල්ල දිස්ත්‍රික් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එම විශිෂ්ට දස්කම් පළ කළහ.

සිව් දිනක් පුරා වින්සන්ට් ඩයස් පිටියේදී පැවැති මලල ක්‍රීඩා තරගාවලියේ ඊයේ (25) පස්වරුව වනවිටත් බිහිව තිබුණේ නව තරග වාර්තා තුනක් පමණි.

පළපුරුදු මලල ක්‍රීඩිකාවක් වන සමානි දුලාංජලී නුවරඑළිය අඹගමුව යෞවන සමාජය නියෝජනය කරමින් පෙරේදා (24) මීටර් 400- වයස 20න් පහළ කාන්තා ඉසව්වෙන් තත්තපර 56.5කට නව තරග වාර්තාවක් පිහිටුවූවාය.

ඒ වසර 2014දී පී.ජී.එන්. මධුශිකා තත්ත්පර 56.5කට පිහිටුවා තිබූ එහි පැරණි වාර්තාව බිඳ දමමිනි. මේ වනවිට ජාත්‍යන්තර පදක්කම් ගණනාවක්ම හිමි කරගෙන සිටින සමානි වසර 2015දී ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී හා එම වසරේදීම පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මීටර 400-කාන්තා ඉසව්වෙන් රන් හා රිදී පදක්කමක් බැගින් දිනා ගත් ක්‍රීඩිකාවයි.

පෙරේදා මීටර් 4X100 වයස 20න් පහළ පිරිමි සහය දිවීමේ ඉසව්වේ පැරණි වාර්තාව බිඳ දමමින් එහි නව වාර්තාවට හිමිකම් කීමට මහනුවර කණ්ඩායම සමත් විය. ඒ ත්ත්තපර 42.6කටයි.

වසර 5ක් පැරණි එහි පැරණි වාර්තාව බිඳ දැමූ මහනුවර කණ්ඩායමට පී.ජී. රණවීර, හැරී ප්‍රසන්න, එම්.එස්. රාජපක්ෂ හා ඒ.ආර්.සී. වීරවර්ධන ඇතුළත් වූහ. පුත්තලම දිස්ත්‍රික් කණ්ඩායමට හිමිව තිබූ එහි පැරණි වාර්තාවේ නිමි කාලය වූයේ තත්ත්පර 42.6කි. මෙවර රිදී පදක්කම හිමිකරගත් මාතර කණ්ඩායමද පැරණි වාර්තාව අභිබවමින් (තත්. 42.6) දස්කම් දක්වා තිබුණි.

 


අදහස් (0)

පාපන්දු ශූරතාව මහනුවරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.