Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner පාපන්දු මහගෙදර බලඅරගලය උග්‍රවෙයි

පාපන්දු මහගෙදර බලඅරගලය උග්‍රවෙයි

සංජය එරමුදුගොඩ - 2017 මැයි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය කැඳවීමත් සමඟ එහි නිලධාරින් අතර ඇති වී තිබෙන බව කියන බල අරගලය හමුවේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ආසියානු පාපන්දු සම්මේලනයේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වට දෙකක් සම්බන්ධයන් ඇල්මැරුණු තත්ත්වයක් ඇතිවී තිබේ. ඒ සඳහා කිසිදු පෙර සූදානමක් පළ නොකිරීම සම්බන්ධයෙන් පාපන්දු සම්මේලනයේම විධායක සභිකයන් පිරිසකගෙන් චෝදනා එල්ල වී තිබේ.

ජූලි 19 වැනිදා සිට එම ජාත්‍යන්තර තරගාවලි පැවැත්වෙන අතර ආසියානු පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව අංක එකේ පසුවන ඉරානය ඇතුළුව කලාපයේ ප්‍රබලතම රටවල් තරග වදින බැවින් එවැනි තත්ත්වයක් මැද ඊට සහභාගි වන ශ්‍රී ලංකවට බරපතළ ප්‍රතිවිපාක අත්විඳීමට සිදුවනු ඇතැයි ඔවුහු කියති.

ඒ පිළිබඳව පාපන්දු සම්මේලනයේ විධායක සභිකයෙක් ‘ලංකාදීප’ යට මෙසේ පැවසීය.

“මේ තරගාවලි නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන්නේ අවුරුදු දෙකකට කලින්. වයස 23න් පහළ ආසියානු කලාපීය තරගාවලිය ලබන ජූලි 19 වනිදා ආරම්භ කරනවා. අඩු තරමින් මේ වනතෙක් පුහුණු සංචිතය කැඳවලා නෑ. පුහුණුකරුවන් නෑ,  කළමනාකරුවන් නිර්දේශ කරලත් නෑ”

“මේ තරග වට වලට ශ්‍රී ලංකාවෙන් සහභාගි වෙන්නේ බොහෝවිට ආධුනික හා නවක ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායම්. ඉරානය වගේ අති ප්‍රබල රටවල් එක්ක තරග වදිනකොට මේ ක්‍රීඩකයන් පිටියේ අසරණ වෙන එක වළක්වන්න බෑ. කොටින්ම අපට වදින ගෝල ලොරි වලට එකතු කරලත් මදි වේවි”

මේ අතර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව මෙම තරග මාලා සඳහා සහභාගි නොවන්නේ නම් එම එක් තරගාවලියක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 10,000 ක දඩයකට හා වෙනත් විනය ක්‍රියාමාර්ග වලට මුහුණදීමට සිදුවනු ඇති බවයි.

පාපන්දු සම්මේලනයේ විධායක සභා රැස්වීමක් සාර්ථකව පවත්වා අවසන් කිරීමට පහුගිය නොවැම්බර් 12 වැනිදායින් පසුව නොහැකි වී තිබෙන බවත් එයින් පසු විධායක සභා කීපයක් කැඳවූවත් ඒවා නිලධාරීන්ගේ බල අරගල හේතුවෙන් සාර්ථක කර ගැනීමට නොහැකි වී තිබෙන බවත් පැවසේ.

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ඉදිරි ජාත්‍යන්තර තරග සහභාගිත්වය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අවස්ථාව දිගින් දිගටම විධායක සභාවෙන් වැළකී ගොස් තිබෙන තත්ත්වයක් තුළ වඩාත් අවාසනාවන්ත ඉරණමකට ශ්‍රී ලංකාවට මුහුණ පෑමට සිදුව තිබෙන බව පැවසේ. ඒ අතර ජාතික පාපන්දු සංචිතයේ කටයුතු පසුගිය නොවැම්බර් මාසයේ සිදු වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ මලයාසියානු තරග සංචාරයෙන් පසුව අත්හිටුවා තිබේ. වසර 2018 දී කත්මන්ඩු නුවර දී පැවැත්වීමට නියමිත සාග් ක්‍රීඩා උළෙලේ පාපන්දු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකාවට එම තත්ත්වය තුළ වඩාත් නරක කලදසාවක් ලබනු ඇතැයිද තවදුරටත් බිය පළ වී තිබේ.

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව (2017 මැයි 4 වනිදා වන විට) රටවල් 206 කින් ශ්‍රී ලංකාව දැන් පසුවන්නේ 197 වනි ස්ථානයේය. ආසියානු ශ්‍රේණිගත කිරීම් අනුව පසුවන්නේ රටවල් 46 කින් 45 වැනි ස්ථානයේය. ආසියානු කලාපයේදී ශ්‍රී ලංකාවට වඩා පහළින් පසුවන්නේ පාකිස්ථානය පමණි.

 වයස 23න් පහළ ආසියානු තරග වටය ඉලක්ක කරමින් මෙම 20 සහ 21 දිනවල අවසන් තේරීම් කිරීමට පාපන්දු සම්මේලනය කටයුතු යොදා තිබේ.

කොළඹදී පැවැති වයස 16 න් පහළ ආසියානු - ජපන් මිත්‍රත්ව තරගාවලියට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට වයස 19න් පහළ ක්‍රීඩකයන් පස් දෙනකු ඇතුළත්ව සිටි බවත් එහෙත් මිත්‍රත්ව තරගාවලියක් වන බැවින් ඊට සහභාගි වූ ජපානය, භූතානය, නේපාලය යන රටවල් ඊට විරෝධය පළ නොකළ බවත් පාපන්දු සම්මේලන ආරංචි මාර්ග සඳහන් කරයි.

 

ශ්‍රී ලංකාව ඉදිරියෙදී සහභාගිවීමට නියමිත ආසියානු සමුළු තරග වට මෙසේය.

● ජූලි 19 සිට 23 දක්වා:- ආසියානු වයස 23න් පහළ සුදුසුකම් ලැබීමේ තරග වටය - කිරිකිස්ථානයේදී. සහභාගිවන රටවල්:- ඉරානය, කිරිකිස්ථානය, ශ්‍රී ලංකාව හා ඕමානය.
● සැප්තැම්බර් 16 සිට 24 දක්වා:- ආසියානු වයස 16න් පහළ සුදුසුකම් ලැබීමේ තරග වටය - සෞදි අරාබියේදී.
සහභාගි වන රටවල්:- උස්බෙකිස්ථානය, සෞදි අරාබිය, ජෝර්දානය, බහරේන්, ශ්‍රී ලංකාව.
● ඔක්තෝබර් 31 සිට නොවැම්බර් 8 වැනිදා දක්වා ආසියානු සමුළු සුදුසුකම් ලැබීමේ තරග වටය- තජිකිස්ථානයේදී.

සහභාගි වන රටවල්:- උස්බෙකිස්ථානය, තජිකිස්ථානය, බංගලාදේශය, මාලදිවයින, ශ්‍රී ලංකාව.

 


අදහස් (0)

පාපන්දු මහගෙදර බලඅරගලය උග්‍රවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.