Last Update  :  2024-05-20 18:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner පාපන්දු බලධාරීන්ට දෝෂාභියෝගයක්

පාපන්දු බලධාරීන්ට දෝෂාභියෝගයක්

සංජය එරමුදුගොඩ - 2017 මාර් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 2013 සිට මේතාක් දක්වා පාපන්දු ක්‍රීඩාව නගාසිටුවීමට අපොහොසත් වූ නිලධාරීන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මුල් පුටුවලට කිසිසේත් සුදුසු නැති බවත් ශ්‍රී ලංකාවේ දුප්පතාගේ ක්‍රීඩාව ලෙසින් සැලකෙන පාපන්දු ක්‍රීඩාව අනාගතය වෙනුවෙන් රැකගත යුතු බවත් කියමින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ කාරක සභිකයෝ පිරිසක් එක්ව ලිපියක් යවා තිබේ. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය තව නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත අතර එම නිලවරණය ඉලක්ක කරමින්, නිලවරණයේ ඡන්ද බලය හිමි පාපන්දු ලීගයන්හි සභාපතිවරුන්ට සහ ලේකම්වරුන්ට එම ලිපිය යවා තිබේ.

එම ලිපියේ මෙසේද සටහන් වෙයි.

අනුර ද සිල්වා (ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ) වත්මන් සභාපති වූ නමුත් සියල්ල මෙහෙයවන ලද්දේ හිටපු සභාපති රංජිත් රොද්‍රිගු මහතාය. එමෙන්ම පසුගිය අවුරුදු 4 තුළ රංජිත් රොද්‍රිගු මහත්මාගේ සැලැස්ම අනුව පාපන්දු සම්මේලනය මෙහෙයවීමෙන් ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ප්‍රපාතයට ගෙන ගොස් තිබෙන බව ජනවාරි මස 22 වනදා සිරස නාලිකාවේ විකාශය වූ වැඩ සටහනින්ද අවබෝධ විය.


පාපන්දු ලීග 45 ක් තිබියදීත් 2013 දී රංජිත් රොද්‍රිගු මහතාගේ සභාපතිත්වය යටතේ නව ලීග 25 ක් ආරම්භ කර මූල්‍යමය ප්‍රතිපාදන ලබාදීමෙන් කරන ලද්දේ තමාට පක්ෂපාතීව ඡන්දය භාවිතා කිරීමට නව ලීග සකස් කර ගැනීමක් බව ඔබ ඉතා හොඳින් දන්නා දෙයක් නොවේද? පාපන්දු සම්මේලනයේ පවත්වාගෙන යන තරගාවලි නිසියාකාරව කාල වේලාවට සම්පූර්ණ කර නොමැති බව කියා සිටින අතර (ඒ සම්බන්ධයෙන්) ඔබගේ ලීගයේ ස්ථාවරත්වය කුමක්ද?

දැනට (ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ) සිටින සභාපති වන අනුර ද සිල්වා මහතා හිටපු සභාපති රංජිත් රොද්‍රිගු මහත්මාගේ සම්පූර්ණ අනුදැනුම ඇතිව වැඩ කිරීමෙන් පාපන්දු ක්‍රීඩාවේ පරිපාලනය සම්පූර්ණයෙන්ම අවුල්වූ බව ඔබ හොඳින් දන්නා කාරණයක් නොවේද? එසේ නම් ඔවුන්වම නැවත මුල්පුටුවලට පත්කර ගතහොත් අපගේ සිත්ගත් පාපන්දු ක්‍රීඩාවට කුමකින් කුමක්වේද?


මුදල් පරිහරණය කිරීම

නිසියාකාරව කාරක සභාවේ අනුමැතිය නොමැතිව භාණ්ඩාගාරිකවරයාගේ අනුදැනුමද නොමැතිව මුදල් පරිහරණය කර ඇති බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ කාරක සභික මහතුන් එකහෙළා කියා සිටින බව ඔබ දන්නවද?

වසර 2013 සිට මේතාක් දක්වා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අනෙකුත් රටවල කණ්ඩායම් සමග තරග කර පරාජය වීමට හේතුව වන්නේ හිටපු සභාපති වන රංජිත් රොද්‍රිගු මහතාගේ බලපෑමට ලක්ව වත්මන් සභාපති අනුර ද සිල්වා මහතා ක්‍රියා කරමින් ලංකා පාපන්දු ක්‍රීඩාව ඉමහත් අප කීර්තියකට ගෙන ගොස් ඇති බවද සත්‍යයකි. කාරක සභිකයින් කරන ලද චෝදනාවලදී පෞද්ගලික තරහ පිරිමසමින් ඔවුන්ව සේවයෙන් නෙරපා දමා ඇති බවද කාරක සභිකයෝ කියති. මේ සියල්ල සිදුවන්නේ දැනට සිටින සභාපති, ලේකම් හා හිටපු සභාපති තුමා ඇතුළු ත්‍රිත්වයේ එකඟත්වයෙන් බව රහසක් නොවේ. යයිද එම ලිපියේ සඳහන් වෙයි.  

ඉදිරියට පැවැත්වෙන නිලවරණය ජයග්‍රහණය කිරීමේ අටියෙන් පාපන්දු ලීගවල සිටින සභාපතිවරුන්ට සහ ලේකම්වරුන්ට පසුගියදා රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පැවැති බවත්, තවදුරටත් පාපන්දු පරිපාලනයේ මුල් පුටුවල රැඳී සිටීමේ චේතනාවෙන් ඔවුන් කටයුතු කරන බවත් ලිපියේ වැඩිදුරටත් සටහන් වෙයි.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ අඩිතාලම අනුව ගෙන යාමට ක්‍රීඩා ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ තම ඒකාධිපති පාලනය තහවුරු කර බලයේ රැඳී සිටීමට මිස ශ්‍රී ලංකා පාපන්දුව නගාසිටුවීමට නොවන බව කියා සිටින කාරක සභිකයෝ දැනට ශ්‍රී ලංකාවේ පාපන්දු කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම අනුව රටවල් 206 කින් 194 වන ස්ථානයට පත්ව ඇති බවත් ආසියාතික ශ්‍රේණිගත කිරීම අනුව රටවල් 46 කින් 45 වන ස්ථානයේ සිටීමත් මෙවන් ලජ්ජා සහගත ස්ථානයට පත්වීමට හේතුව වන්නේ පාපන්දු සම්මේලනයේ කෙරුම්කාරයන් තිදෙනාගේ ක්‍රියාකලාපය නිසා බවත් කියා සිටිති.

වසර 2013 වසරේ සිට 2016 වසර කාලය තුළදී පාපන්දු සම්මේලනයට එරෙහි වූ අධිකරණ ක්‍රියාමාර්ග 18 ක් සඳහා රුපියල් ලක්ෂ 200 ක් වැය කර ඇති බව වර්තමාන සභාපති සිරස නාලිකාවේ 22.01.2017 වැඩ සටහනේදී පැවසීය. සංගමයේ ලේකම්වරයාද එම අවස්ථාවේ එය සම්මත කරන ලදී.

මෙලෙස වියදම් වන්නේ පාපන්දු සංවර්ධනය සඳහා අන්තර්ජාතික පාපන්දු සම්මේලනයෙන් ලැබුණු මුදල් මිස රංජිත් රොද්‍රිගු මහතාගේ පෞද්ගලික මුදල් නොවන බව රහසක් නොවේ. වසර 22ක කාලය තුළ පාපන්දු පරිපාලනයේ රැඳුණු රොද්‍රිගු මහතා තවත් උත්සාහ ගන්නේ ලීගවලට මුදල් දී කෙසේ හෝ මුල් පුටුව ලබා ගැනීමට බව ඔබට වැටහෙන්නේ නැද්ද? යන්නත් කාරක සභිකයෝ ප්‍රශ්න කරති.  

කෝප් කමිටුව පෙන්වාදී තිබෙන්නේ ද යූරෝ සහ ඩොලර් ලබාගත් නමුත් එම මුදල් පාපන්දු දියුණු කිරීමට යොදා නොගෙන නිසි ලෙස ගණුදෙනු නොකර ඇති බව නොවේද? එම නිසා හිටපු සභාපති රංජිත් රොද්‍රිගු, වත්මන් සභාපති අනුර ද සිල්වා හා ලේකම් බාලේන්ද්‍රන් යන තිදෙනා නිලවරණයට කිසිසේත් නුසුදුසු බව ඔබට තේරුම්ගත නොහැකිද යන්න තවත් ප්‍රශ්නයකි.

 


අදහස් (0)

පාපන්දු බලධාරීන්ට දෝෂාභියෝගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.