Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner පාපන්දු නිවසේ අතට යටින් ගැසූ ගැහිලි

පාපන්දු නිවසේ අතට යටින් ගැසූ ගැහිලි

සංජය එරමුදුගොඩ - 2017 මාර් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ 2015 දෙසැම්බර් 31 වනදායින් අවසන් වූ වර්ෂය සඳහා වූ අයවැය වාර්තාව අධ්‍යනය කළ රජයේ විගණකාධිපතිවරයා නිකුත් කළ වාර්තාවෙන් බරපතළ චෝදනා ගණනාවක් එල්ල කර තිබේ. මුදල් අවභාවිතය සම්බන්ධයෙන් එහිදී හිටපු ප්‍රධානතම නිලධාරීන් දෙදෙනෙකුට එමගින් ප්‍රධාන වශයෙන් චෝදනා කර තිබේ. රජයේ විගණකාධිපති එම්.එම්. ගාමිණී විජේසිංහ මහතාගේ අත්සනින් නිකුත් කර තිබෙන එම ගිණුම් වාර්තාවෙන් මුදල් අවභාවිතා කිරීම හැරෙන්නට මූල්‍ය කළමනාකාරිත්වයක් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හා නිසි ඉලක්ක හා පාපන්දු සංවර්ධන සැලැස්මක් දිගින් දිගටම ක්‍රියාත්මක නොවීම පිළිබඳවත් චෝදනා නගා තිබේ.

පාපන්දු සම්මේලනයේ 2015 වසරේ ගිණුම් වාර්තාව විගණනය කිරීමෙන් පසු නොබෝදා ප්‍රකාශයට පත් කළ අතර එහි පිටපත් දිවයින පුරා ක්‍රියාත්මක පාපන්දු ලීග (සංගම්) 74 කට ලබා දීමට පාපන්දු සම්මේලනය මේ වන විටත් කටයුතු කර තිබේ.

මේ ගතවන්නේ 2017 මාර්තු මාසය වුවද පාපන්දු සම්මේලනයේ 2016 වාර්ෂික මහ සභා රැස්වීම තවමත් පවත්වා නැත. එම රැස්වීම (2016 වසර සඳහා) අප්‍රේල් 22 වැනිදා පෙරවරු 10 ට රීඞ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී පැවැත්වේ. එදිනට 2015 විගණන වාර්තාවද ඇතුළත් වන 2016 මහ සභා වාර්තාව ලීග් නියෝජිතයින් විසින් අනුමත කළ යුතුව ඇත.

කෙසේ වුවත් වසරකටත් වැඩි කාලයක් තිස්සේ පාපන්දු සම්මේලනයේ 2015 වසරේ ගිණුම් වාර්තාව විගණනය කිරීම ප්‍රමාද වූයේ ඒ සම්බන්ධයෙන් අධිකරණයේ පැවති නඩු කීපයක්ද ඇතුළුව විවිධ කරුණු කීපයක් හේතුවෙනි.

මෑතකදී පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) නිකුත් කළ වාර්තාවකින්ද පාපන්දු සම්මේලනයේ මුදල් අවභාවිතය හා ක්‍රීඩාවේ දියුණුවට නිසි කළමනාකාරිත්වයක් නොමැති වීම පිළිබඳව චෝදනා ගණනාවක් එල්ල කර තිබුණි.

රජයේ විගණකාධිපතිවරයාගේ 2015 වසරේ විගණන වාර්තාවෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් එල්ලවී තිබෙන චෝදනා ලුහුඬින් මෙසේය. එහි මූල්‍යමය ප්‍රකාශනය පිළිබඳ අදහස් දක්වා ඇත්තේ වංචාකාරී ස්වභාවයෙන් දෘශ්‍යමාන ගණුදෙනු යන මැයෙනි.


■    කළුතර ක්‍රීඩාංගණයේ සංවර්ධනය සඳහා 2008 ජනවාරි 8 වැනිදා ඉතාලි පාපන්දු ක්‍රීඩකයන්ගේ සංගමයක් මගින් ලබාදුන් බව කියන යූරෝ 40900 ක (රුපියල් 62,87,670) මුදල එවකට ක්‍රියාත්මක වූ කළමනාකාර මණ්ඩල කමිටුවේ නිලධාරියෙකුගේ පෞද්ගලික ගිණුමට බැර කර ගැනීම තුළින් එම මුදල අවභාවිතා කර ඇති බවට විගණනයේදී තහවුරු විය.

■    ආසියානු පාපන්දු සම්මේලනයේ සභාපති කුසලාන තරගාවලියේ පළමු වටයේ සුදුසුකම් ලැබීමේ තරග පැවැත්වීම සඳහා එම සම්මේලනය ලබා දුන් බව කියන ඇමරිකානු ඩොලර් 60,000ක් හෙවත් රුපියල් 64,15,290ක ප්‍රදානය හිටපු ප්‍රධාන විධායක නිලධාරියෙකුගේ නියෝගයකින් පාපන්දු සම්මේලනයේ කළමනාකාර මණ්ඩලයේ හිටපු නිලධාරියෙකුගේ පෞද්ගලික විදේශ මුදල් බැංකු ගිණුමට බැර කිරීම. එහිදී තරගාවලියේ සත්කාරය දැරූ පෞද්ගලික ක්‍රීඩා සංගමයට එම මුදල මෙතෙක් ලබාදී නොතිබුණු බව විගණනයේදී තහවුරු විය.

■    කළුතර ප්‍රදේශයේ සුනාමි ව්‍යසනයෙන් හානියට පත්වූ නිවාස 20 ක් නැවත ඉදිකිරීම සඳහා පෞද්ගලික සමාගමක් විසින් පාපන්දු සම්මේලනයට ලබා දුන් රුපියල් 5,000,000 ක මුදලක් ඒ සඳහා පෞද්ගලික පුණ්‍යායතනයකට බාර දෙන ලෙස කළ විධානය ඉටු නොකොට එය කළමනාකාරි මණ්ඩලයේ නිලධාරියකු විසින් රඳවාගෙන තිබුණු බවට හෙළි විය.

■    ආසියානු පාපන්දු සම්මේලනය ලබා දුන් ඇමරිකානු ඩොලර් 40000 ක් සම්මේලනයට අයත් ගිණුමකින් ඉවත්කර එය කළමනාකාර කමිටුවේ හිටපු නිලධාරියෙකුගේ ගිණුමකට මාරු කිරීම

■    සම්මේලනයේ බැංකු ගිණුමක් හිටපු විධායක නිලධාරියෙකු විසින් ලබා ගත් බව කියන ඇමරිකානු ඩොලර් 30000 ක් හෙවත් රුපියල් 3217500 ක් වන මුදලක් ඩොලර් 12532ක් හෙවත් රුපියල් 1337035 ක මුදලක් වාර්තාව සකස් කළ දිනය වන විටත් ආපසු සම්මේලනයට බාරදී නොතිබීම.

■    දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ වියදම් සඳහා විධායක කමිටුවේ අනුමැතියකින් තොරව හිටපු විධායක නිලධාරියෙකු විසින් 2008 ජුනි 20 වැනිදා හිටපු කළමනාකාර මණ්ඩලයේ නිලධාරියෙකුගෙන් රුපියල් 6,000,000 ක ණයක් ලබා ගැනීම.

■    සම්මේලනයේ බැංකු ගිණුම්වල ප්‍රමාණවත් අරමුදල් තිබියදී එම සිදුවීම වාර්තා වීම. එම ණය මුදල නිරවුල් කිරීම සඳහා එම කාලය තුළදීම සම්මේලනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියෙකු විසින් කූට ලෙස සකස් කරන ලදැයි කියන බැංකු විධානයක් මගින් සම්මේලනයේ ගිණුමෙන් හිටපු කළමනාකාර මණ්ඩලයේ නිලධාරියෙකුගේ පෞද්ගලික බැංකු ගිණුමකට ඇමරිකානු ඩොලර් 60000 ක් මාරු කිරීම.

 

වසර 2017-19 පාලනකාලය සඳහා පාපන්දු සම්මේලනයේ නිලවරණය ලබන ජූලි 1 වැනිදා පැවැත්වීමට දැන් තීරණය කර තිබේ. එම නිලවරණය ඉලක්ක කරමින් පාපන්දු සම්මේලනයේ ලේකම්වරයා නිකුත් කළ 2016 වසරේ මහ සභා වාර්තාවට රජයේ විගණකාධිපතිවරයා විගණනය කළ 2015 ගිණුම් වාර්තාවේ ද්‍රවිඩ හා ඉංග්‍රීසි පරිවර්තනයන්ද අමුණා තිබේ.

 


අදහස් (0)

පාපන්දු නිවසේ අතට යටින් ගැසූ ගැහිලි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.