Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner පළමු පෙළ කුසලාන මොරගස්මුල්ලට

පළමු පෙළ කුසලාන මොරගස්මුල්ලට

සංජය එරමුදුගොඩ - 2016 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශූරයන්ගේ තරගාවලියේ පවා මීට පෙරත් ක්‍රීඩා කර ඇති විදේශීය ක්‍රීඩකයන් ද ඇතුළත් ප්‍රබල පෙලිකන්ස් කණ්ඩායම කුරුණෑගල සිය ගම් පළාතේදීම පරාජයට පත් කරමින් ප්‍රධානතම පළමු පෙළ පාපන්දු කුසලාන රාජගිරියට රැගෙන ඒමට මොරගස්මුල්ල ක්‍රීඩා සමාජ ක්‍රීඩකයෝ සමත් වූහ.

කුරුණෑගල-මලියදේව විදුහල් ක්‍රීඩාංගණයේ දී පෙරේදා (10) පැවැති ප්‍රධානතම පළමු පෙළ පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයේ දී ජයග්‍රාහි මොරගස්මුල්ල ක්‍රීඩා සමාජයට රුපියල් ලක්ෂ තුනක ත්‍යාග මුදලක්  ගෙන දීමට මුල් වූයේ 36 වැනි විනාඩියේ දී ජයග්‍රාහී ගෝලය වාර්තා කළේ රොෂාන් ප්‍රියවංශය.

මුළු තරගය පුරා වාර්තා වූ එම එකම තීරණාත්මක ගෝලය නිසා ගෝල 1-0 ක තියුණු ජයක් ලබාගත් මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය සිය ඉතිහාසයේ මෙතෙක් ලබාගත් ඉහළම පාපන්දු ජයග්‍රහණය ද වාර්තා කිරීමට සමත් විය.

ඒ සමගම ඔවුන් පළමු වතාවට ශූරයන්ගේ පාපන්දු තරගාවලියට ද (2016-17) වරම් ලබා ගත්තේය. මෙම වරම අනුශූර පෙලිකන්ස් කණ්ඩායටම ද හිමිවූ අතර කෙසේ වුවත් ඔවුන් මීට පෙරත් ශූරයන්ගේ තරගාවලියේ ක්‍රීඩා කර ඇති ක්‍රීඩා සමාජයකි. පෙලිකන්ස් කණ්ඩායමට මෙම තරගයේ දී තියුණු ගෝල අවස්ථා කීපයක්ම මග හැරී ගියේය. කෙසේ වුවත් එහි ගෞරවය හිමි වන්නේ සිය දැල තුළට එල්ලවූ ප්‍රබල පන්දු පහර ගණනාවක්ම දක්ෂ ලෙස වළක්වා ගනිමින් සිය කාර්ය භාරය මැනවින් ඉටුකළ මොරගස්මුල්ල කණ්ඩායම් දැල් රකින්නා ලෙස කටයුතු කළ තරිඳු රුක්ෂාන්ටය.

 අවසන් පූර්ව වටයේ දී මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය විසින් බදුල්ල කොම්රාට්ස් කණ්ඩායමද (3-1) පෙලිකන්ස් කණ්ඩායම විසින් දර්ගා නගර රෙඞ්ස්ටාර් කණ්ඩායම ද (3-1) පරාජය පත් කරමින් මෙම අවසන් මහ තරගයට වරම් ලැබූහ. කණ්ඩායම් 17ක් පමණක් තරගාවලියට සහභාගි වූයේ ඉතිරි කණ්ඩායම් තුනක් ආරම්භයේදීම ඉන් ඉවත් වූ බැවිනි.

 ජයග්‍රාහී මොරගස්මුල්ල ක්‍රීඩා සමාජයේ ලේකම් පී. හේවගේ මහතා පැවසුවේ වසර 15ක කාලයක් ගෙවමින් පවතින සිය ක්‍රීඩා සමාජයට නිසි අනුග්‍රහයක් නොලැබීම නිසා එය පවත්වාගෙන යාමේ දී දුෂ්කරතා රැසකට මුහුණ දී සිටින බවයි. කෙසේ වුවත් මෙම ජයග්‍රහණය හමුවේ සිය ක්‍රීඩා සමාජය අලුත් පන්නරයක් ලැබූ බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

අනුශූර පෙලිකන්ස් ක්‍රීඩා සමාජයට මුදලින් රුපියල් ලක්ෂ දෙකක් ප්‍රදානය කෙරුණු අතර එම කණ්ඩායමට විදේශීය ක්‍රීඩකයන් දෙදෙනකු ද ඇතුළත් වූහ. 1948 දී ආරම්භ කළ එය මෙරට පැරණිතම පාපන්දු ක්‍රීඩා සමාජයකි.

අවසන් වරට වසර 2014-15 ශූරයන්ගේ පාපන්දු තරගාවලියේ “ඒ” කාණ්ඩයේ ක්‍රීඩා කළ ඔවුන් එහිදී අවසන් ස්ථාන අතරට පැමිණීම නිසා දැන් පැවැත්වෙන 2016 තරගාවලියෙන් ඉවතට වීසි විය.

තරගාවලිය පුරා එකම තරග පරාජයක් පමණක් අත්කර ගත් මොරගස්මුල්ල ක්‍රීඩා සමාජයට එම පරාජය අත්වූයේ මූලික වටයේදී යාපනය ශාන්ත මේරි කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදීය. යාපනයේදී පැවැති එම තරගයෙන් ගෝල 2-1 ක පරාජයක් මොරගස්මුල්ලට අත්විය.


 

පළමු පෙළ පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයේ විශේෂ අවස්ථා...

(ඡායාරූප - වරුණ කරුණාසේකර )


අදහස් (0)

පළමු පෙළ කුසලාන මොරගස්මුල්ලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.