Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner නව ව්‍යවස්ථාවේ අනුමැතියට විශේෂ මහ සභා රැස්වීමක්

නව ව්‍යවස්ථාවේ අනුමැතියට විශේෂ මහ සභා රැස්වීමක්

සංජය එරමුදුගොඩ - 2017 ජන මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව ව්‍යවස්ථාව අනුමත කරගැනීම සඳහා විශේෂ මහ සභා රැස්වීමක් මාර්තු 25 වැනිදා හෝ ඊට අසන්න දිනයකදී පැවැත්වීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සැලසුම් කර තිබේ. පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතාගෙන් ඒ පිළිබඳව කළ විමසුමකදී සභාපතිවරයා පැවසුවේ විශේෂ මහ සභා රැස්වීම සඳහා ලබන මාර්තු 25 වැනිදා වෙන්කර ගෙන තිබුණත් එය ඊට පෙර පැවැත්වීමට පාපන්දු සම්මේලනය උත්සාහ දරන බවයි.

අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාවට සමගාමීව එහි සාමාජික රටවල ජාතික පාපන්දු සම්මේලන ව්‍යවස්ථාව සකස් කරගන්නා ලෙස එම සම්මේලනය ලබා දී තිබෙන උපදෙස් පරිදි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව ද සංශෝධනය කර ගැනේ. ඊට අනුමැතිය ලබා ගැනීම හා ගිණුම් වාර්තා අනුමත කර ගැනීම සඳහා මෙම විශේෂ මහ සභා රැස්වීම කැඳවීමට තීරණය කර තිබේ.

පාපන්දු සම්මේලනයේ සභාපතිවරයාගෙන් “ලංකාදීප”ය කළ විමසුමේදී වැඩිදුරටත් පැවැසුවේ නව ක්‍රීඩා රෙගුලාසි අනුමැතිය ඇතුළත් ගැසට් නිවේදනය ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබීමෙන් අනතුරුව අවශ්‍යතාවක් ඇතිවුවහොත් පමණක් පාපන්දු සම්මේලනයේ විශේෂ මහ සභා රැස්වීම මාර්තු 25ට පෙර දිනයකදී යොදා ගැනීමට පාපන්දු සම්මේලනය උනන්දු වී සිටින බවයි.

පාපන්දු සම්මේලනයේ නව ව්‍යවස්ථා සංශෝධනයට අනුව ලබන මැයි මාසයේදී කැඳවනු ලබන නිලවරණයේදි ලීග නියෝජිතයන්ගේ මනාපයෙන් තෝරා ගනු ලබන්නේ පාපන්දු සම්මේලනයේ සභාපතිවැයා හැරුණුකොට උපසභාපතිවරුන් 5 දෙනා පමණි.

එහිදී ප්‍රධාන ලේකම් සහ භාණ්ඩාගාරික යන ධුර අහෝසි වන අතර ඒ වෙනුවට වැටුප් ලබන පරිපාලන ලේකම්වරයකු හා මූල්‍ය අධ්‍යක්ෂවරයකු පත්කර ගනු ලබන්නේ ඡන්දයෙන් පත්වන සභාපතිවරයාගේ අභිමතය පරිදිය. එහිදී උපලේකම් ධුර (තනතුර 2) හා උපභාණ්ඩාගාරික ධුරය ද අහෝසි වී තිබේ.

පාපන්දු සම්මේලනයේ නිලවරණය ලබන මැයි මාසයේදී කැඳවූවත් ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබේ.

පාපන්දු සම්මේලනයේ වත්මන් සභාපති අනුර ද සිල්වා මහතා සහ එහි ලේකම් බාලේන්ද්‍ර ඇන්තනී යන මහත්වරු මෙවර සභාපති තනතුරට ඉදිරිපත් වන බව ප්‍රකාශ කර තිබේ. එහෙත් සභාපති තනතුර සඳහා තමන්ද ඉදිරිපත් වන බව පාපන්දු සම්මේලනයේ මූල්‍ය කමිටුවේ වත්මන් සභාපති හා සම්මේලනයේ හිටපු සභාපති රංජිත් රුද්‍රිගු මහතා කලින්ම ප්‍රකාශ කර තිබුණි.

තත්ත්වය මෙසේ තිබියදී හිටපු නිලධාරීන් පිරිසක් එක්ව ප්‍රබල ඇමැතිවරයකු ඉදිරිපත් කිරීමට මේ වනවිටත් සාකච්ඡා කරමින් සිටින බවද වාර්තා වේ.

 


අදහස් (0)

නව ව්‍යවස්ථාවේ අනුමැතියට විශේෂ මහ සභා රැස්වීමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.