Last Update  :  2024-05-10 23:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner එංගලන්ත කොඩිය වැනීම අවදානම්

එංගලන්ත කොඩිය වැනීම අවදානම්

Nisanka Sandeepani - 2018 අප්‍රේ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන ජූනි මස 14 වැනිදා සිට ජූලි මස 15 දක්වා රුසියාවේ පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තරගාවලිය නැරැඹීමට බලාපොරොත්තුවෙන් පසුවන එංගලන්තයේ පාපන්දු ක්‍රීඩාලෝලීන්ට  එංගලන්ත පොලිසිය  විසින් උපදෙස් මාලාවක් නිකුත් කරනු ලැබ ඇත. 

ත්‍රස්තවාදී ප්‍රහාර අවදානමත්, රුසියානු රහස් ඔත්තු සේවයේ රාජකාරි කළ, දැනට එංගලන්තයේ සිටින රුසියානු ජාතිකයකුට වස පෙවීමට උත්සාහ දැරීමේ සිදුවීමත් හේතුවෙන් දෙරට ඇතිවී තිබෙන රාජතාන්ත්‍රික උණුසුමත් නිසා ලෝක කුසලාන පාපන්දු තරග පැවැත්වෙන ක්‍රීඩාංගණවලදී එංගලන්තයේ ජාතික ධජය ප්‍රදර්ශනය කිරිම හෝ ගී ගැයීමෙන් වළකින ලෙස එංගලන්ත පොලීසිය එරට පාපන්දු ලෝලීන්ට දැනුම් දී තිබේ. එවන් ක්‍රියාකාරකම් තුළින් අනපේක්ෂිත ගැටුම් උද්ගත වනු ඇතැයිද පොලිසිය එංගලන්ත පාපන්දු ලෝලීන්ට අනතුරු අඟවා තිබේ.

පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අතරතුර එංගලන්ත ක්‍රීඩාලෝලීන්ගේ ආරක්ෂාව භාරව කටයුතු කිරීමට නියමිත එංගලන්තයේ දකුණු යෝක්ෂයර් ප්‍රාන්ත පොලිසියේ නියෝජ්‍ය ප්‍රධානී මාක් රොබට්ස් මහතා පවසා ඇත්තේ ජාතිකත්වය පිළිබඳ දැඩි අවදානමකට සහ බරපතළ ලෙස උණුසුම් වාතාවරණයකට මුහුණදීමට එංගලන්ත ක්‍රීඩාලෝලින්ට සිදුවනු ඇති බැවින් මෙවැනි උපදෙස් මාලාවක් නිකුත් කළ බවය. 
තරග අතරතුර එංගලන්ත ජාතික ධජය ප්‍රදර්ශනය කිරීම නිසා ඉංග්‍රීසි ජාතිකයන්ට ඔවුන්ගේ ජාතිකත්වය පිළිබඳ වැඩි අභිමානයක් ඇතිවීමේ පසුබිමක් නිර්මාණය වනු ඇතැයි ද එය ඔවුන්ට අවදානමක් සහිත වාතාවරණයක් වනු ඇතැයිද මාක් රොබට්ස් මහතාගේ අදහස වී තිබේ.

මෙවර ලෝක කුසලාන තරගාවලිය නැරැඹීමට 10,000 කට අධික එංගලන්ත ක්‍රීඩාලෝලීන් පිරිසක් රුසියාව බලා යාමට සූදානමින් සිටිති. ලෝකයේ හතර සිවු දිසාවේම වෙසෙන පාපන්දු ලෝලීන් අතුරින් මහත් කළහකාරී පාපන්දු ලෝලීන් පිරිසක් ලෙසින් එංගලන්ත පාපන්දු ලෝලීන් හැඳින්වේ. 

රුසියානු රහස් ඔත්තු සේවා නිලධාරියාගේ සිදුවීම අරභයා බ්‍රිතාන්‍ය රාජතාන්ත්‍රිකයන් 23 කට මොස්කව් නුවරින් පිටවීමට පසුගියදා රුසියානු රජය බල කර සිටියේය. ඒ අතර බ්‍රිතාන්‍ය පාපන්දු නිලධාරිහුද සිටියහ.

රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් සහ බටහිර රටවල් අතර  රාජතාන්ත්‍රික වශයෙන් මෙවැනි උණුසුම් වාතාවරණයක් පැන නැගීමට පෙර එංගලන්ත ක්‍රීඩාලෝලීන් ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නැරැඹීම සඳහා ප්‍රවේශපත් 28,000 ක් මිළදී ගෙන ඇතැයි වාර්තා විය. 

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දි එංගලන්ත පිල සහභාගි වන පළමු තරගය ජූනි මස 18 වැනිදා ටියුනීසියාවට එරෙහිව පැවැත්වීමට නියමිතය.

 


අදහස් (0)

එංගලන්ත කොඩිය වැනීම අවදානම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.