Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner ආරක්‍ෂිත වැටට ලක්‍ෂ 50 ක් දීම ප්‍රතික්ෂේප කරයි

ආරක්‍ෂිත වැටට ලක්‍ෂ 50 ක් දීම ප්‍රතික්ෂේප කරයි

සංජය එරමුදුගොඩ - 2017 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ ප්‍රදානයක් ලෙස ලැබෙන ඇමරිකානු ඩොලර් ලක්ෂ පහක මුදලින් කෝට්ටේ බැද්දගානේ ඉදිවන කෘත්‍රිම පාපන්දු තණ තීරුවේ ආරක්ෂිත වැට ඉදිකිරීම සම්බන්ධයෙන් මේ වනවිට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ අර්බුදයක් පැන නැගී ඇතැයි වාර්තා වේ. රුපියල් මිලියන පහක වියදමින් ඉදිකිරීමට යෝජිත මෙම ආරක්ෂිත වැට සඳහා මුදල් අනුමත කිරීම පාපන්දු සම්මේලනයේ මූල්‍ය කමිටුව ප්‍රතික්ෂේප කිරීම එම තත්ත්වයට හේතුවී ඇතැයි පාපන්දු ආරංචි මාර්ග සඳහන් කරයි.

එහිදී ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය වන ආකාරයෙන් පාපන්දු සම්මේලනයේ ප්‍රධානින් කටයුතු කර ඇතැයි මූල්‍ය කමිටුව චෝදනා කරයි. පාපන්දු සම්මේලනයේ විධායක සභාවේ පූර්ණ අනුමැතියකින් තොරව එම ඉදිකිරීම සඳහා පුවත්පත් මගින් ටෙන්ඩර් කැඳවීම ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කිරීමක් බවද මූල්‍ය කමිටුව එහිදී චෝදනා නගා තිබේ.

කෙසේ වුවත් පාපන්දු සම්මේලන ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මූල්‍ය කමිටුවේ එකී චෝදනාවෙන් පසු අදාළ ඉදිකිරීම සඳහා සිය අනුමැතිය ඉල්ලමින් පාපන්දු සම්මේලනයේ ප්‍රධානින් විධායක සභාවේ සාමාජිකයන්ට මේ වනවිට විද්‍යුත් තැපෑල් පණිවුඩ යවා ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.

බැද්දගාන ජාතික පාපන්දු සංකීර්ණයට අයත් භූමිභාගයේ පිහිටි ක්‍රීඩාංගණයේ අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ ආධාර ලබාගනිමින් කෘත්‍රිම තණ තීරුව ඇතිරීම මේ වන විටත් ආරම්භ කර තිබේ.

එය ශ්‍රී ලංකාවේ ඉදිවන කෘත්‍රිම තණ තීරුවක් සහිත පළමු පාපන්දු ක්‍රීඩාංගණය බවට පත්ව තිබේ. මින් පෙර ඒ සඳහා පාපන්දු සම්මේලනය තෝරාගෙන තිබුණේ හැව්ලොක් පෙදෙසේ “හෙන්රි පේද්‍රිස්” පිටිය වුවත් එහි ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා ඒ සඳහා පසුව බැද්දගාන ක්‍රීඩාංගණය ලෝක පාපන්දු සමුළුවේ අනුමැතියෙන් නිර්දේශ කරනු ලැබීය.

විධායක සභාවේ අනුමැතිය ලබාගැනීමෙන් පසු ආරක්ෂිත වැට සඳහා මුදල් ලබාදීමට තමන් සූදානම් බව මේ වනවිට මූල්‍ය කමිටුවේ සභාපතිවරයා පාපන්දු සම්මේලනයේ සභාපතිවරයාට දැනුම් දී ඇතැයි ද වාර්තා වේ. පාපන්දු සම්මේලනයේ මූල්‍ය කමිටුවේ වත්මන් සභාපතිවරයා වන්නේ රංජිත් රුද්‍රිගු මහතාය.

 


අදහස් (0)

ආරක්‍ෂිත වැටට ලක්‍ෂ 50 ක් දීම ප්‍රතික්ෂේප කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.