Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football නිලවරණය පැරදුනොත් පාපන්දු ක්‍රීඩාවෙන් අයින් වෙනවා

නිලවරණය පැරදුනොත් පාපන්දු ක්‍රීඩාවෙන් අයින් වෙනවා

editorial - 2023 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සැප්තැම්බර් 29 වැනිදා පැවැත්වීමට නියමිත නිලවරණය ජයගැනීමට සිය පාර්ශ්වයට නොහැකි වුවහොත් නාමයෝජනා බාරදුන් සියලු දෙනා පාපන්දු ක්‍රීඩාව හැරයාමට තීරණය කර ඇතැයි දක්‍ෂිත සුමතිපාල පාර්ශ්වය පවසයි.  එම පාර්ශ්වයට සහය පළ කිරීමේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී උප සභාපති ධුර අපේක්‍ෂකයකු වන වෙන්නප්පුව පාපන්දු ලීගයේ සභාපති රෝහිත ප්‍රනාන්දු මහතා එසේ පැවැසීය.

පාපන්දු ආයතනයේ නිලවරණයේදී සභාපති ධුර අපේක්‍ෂකත්වය ප්‍රතික්ෂේප වුණු දක්‍ෂිත සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්විණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ හිටපු සභාපතිවරයකු වන පොල්ගහවෙල පාපන්දු ලීගයේ සභාපති අනුර ද සිල්වා මහතා ඇතුළු ලීග නියෝජිතයෝ රැසක් සහභාගි වී සිටියහ.

එහිදී රෝහිත ප්‍රනාන්දු මහතා මෙසේද පැවැසීය.

“මෙදා නිලවරණයට අපේ පාර්ශ්වය එන්නේ පරදින්න නොවෙයි. අපේ ජයග්‍රහණය ඒකාන්තයි. හැබැයි අද අපි මෙතනදී මාධ්‍යවේදීන්ට එකක් කියන්න කැමැතියි. නිලවරණය අපි පැරදුණොත් අපේ කණ්ඩායම තීරණයකට ඇවිත් ඉන්නවා මෙතැන් සිට රටේ පාපන්දු ක්‍රීඩාවෙන් ඉවත් වෙන්න.“

“එහෙම වෙන්නේ මේ රටේ පාපන්දු ක්‍රීඩාව කාබාසිනියා කරපු පාර්ශ්ව වෙතින් තවදුරටත් ඊට දායකත්වයක් ලැබෙයි කියලා අංශුමාත්‍රයකවත් විශ්වාසයක් නැති හින්දා. රටේ පාපන්දු ක්‍රීඩාව කඩා වැටෙන්න ගත්තේ 2012 ඉඳලයි. එදා පාපන්දු සම්මේලනයේ බලයේ හිටපු ප්‍රධානියා ආපු හැටියේ යොවුන් ප්‍රවර්ධන කමිටුව විසුරුවා හැරීම එම කඩා වැටීමේ ආරම්භය වුණා. රටේ පාපන්දු ක්‍රීඩාව බින්දුවටම දාපු අයියලා තුන්දෙනෙක් පාපන්දුව නංවන්න එකතුවෙලා ඉන්නවා කීමත් විහිළුවක්.”

 මෙම මාධ්‍ය හමුව ඇමැතූ දක්‍ෂිත සුමතිපාල මහතා මෙසේ පැවැසීය.

“මගේ සභාපති අපේක්‍ෂකත්වය ප්‍රතික්ෂේප වුණත් අපේ පාර්ශ්වයට නිලවරණයේ ඉදිරියට යන්න බාධාවක් නෑ. අපි හත් දෙනකුගෙන් පමණක් වන පාර්ශ්වය ජස්වර් උමාර් පර්ශ්වයේ 13 දෙනාට අභියෝග කරනවා පුළුවන්නම් නිලවරණය ජයගන්න කියලා. අපේ පාර්ශ්වයේ නාමයෝජනා බාරදුන් සියලු දෙනාම පාපන්දු ක්‍රීඩාවේ නියැලුණු අයයි. ඒ නිසා නිලවරණයට නාමයෝජනා බාරදුන් දෙපාර්ශ්වය අතර පාපන්දු තරගයක් පවත්වන්න අපි ඒ අයට ආරාධනා කළා. “

“එහෙම බැරිනම් අපි සමග රටේ පාපන්දු ක්‍රීඩාව ගැන කතා කරන්න විවාදයකට එන්න ඒ අයට ආරාධනා කළා. ඒකත් ඔවුන් මග හැරියා. යම් යම් දුර්මත පළවෙලා තිබෙනවා සභාපති ධුරය නැතුව අපේ පාර්ශ්වයට නිලවරණයේ ඉදිරියට යන්න බෑ කියලා. “

“එහෙම කිසිම බාධාවක් නෑ. මේ නිලවරණයෙන් පස්සේ සභාපති ධුරය පිරවීමට විශේෂ නිලවරණයක් කැඳවන්න පාපන්දු ආයතනයේ අලුත් ව්‍යවස්ථාවේ වගන්ති තිබෙනවා. කිසිම සැකයක් නෑ. අපි මේ කතා කරන මොහොත වනවිට ලීග 36ක සහය පළවෙලා තිබුණා. මේක රහස් ඡන්දයක්. ඒ නිසා කිසිවකුගේ බලපෑම්වලට යට නොවී නිදහසේ සිය මනාපය පළ කරන්න ලීග නියෝජිතයන්ට නිලවරණයේදී අවස්ථාව ලැබෙනවා.”

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දුන් සුමතිපාල මහතා පැවැසුවේ නිලවරණ කමිටුව හා අභියාචනා කමිටුව සිය පාර්ශ්වය විසින් ප්‍රතික්ෂේප නොකරන නමුදු එම කමිටු ලබාදුන් ඇතැම් තීරණ පක්‍ෂග්‍රාහී යැයි හැඟෙන බැවින් ඒ සම්බන්ධයෙන් අන්තර්ජාතික පාපන්දු සම්මේලනය ද දැනුවත් කිරීමට සිය පාර්ශ්වය කටයුතු කළ බවයි.

“ඒ අයගේ දර්ශනය එකට කමු වගේ කියන දෙයක්. නමුත් අපේ දැක්ම වෙන්නේ එකට වැඩ කරමු කියන එකයි.” යයි ද ඔහු වැඩිදුරටත් පැවැසීය.

ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායමේ හිටපු නායිකාවක් වන මෙවර නිලවරණයේදී දක්‍ෂිත සුමතිපාල පාර්ශ්වයෙන් විධායක කමිටු සභික ධුරයකට තරග වදින හෂිණි ආරියරත්න මහත්මිය මාධ්‍ය හමුවේදී පැවැසුවේ රටේ පාපන්දු ක්‍රීඩාව 208 ස්ථානයට වැට්ටවූ අයගේ කාලයේදීම ශ්‍රී ලංකාවේ පාපන්දු කාන්තා ක්‍රීඩාවත් 154 තරම් පහළ ස්ථානයකට පත්ව තිබෙන බවයි. එවැනි නිලධාරීන් යටතේ තවදුරටත් රටේ පාපන්දු ක්‍රීඩාවේ ප්‍රවර්ධනයක් ගැන සිතිය නොහැකි නිසා පාපන්දු පරිපාලනයට ආධුනිකයකු වුවත් හොඳ දැක්මක් ඇති දක්‍ෂිත සුමතිපාල මහතාට සහාය දීමට තමා එම පාර්ශ්වයට එක්වූ බවත් ඇය එහිදී වැඩිදුරටත් පැවැසුවාය.

උප සභාපති ධුර අපේක්‍ෂකයෙක් වන පී.ජී.පී. පීරිස්, විධායක කමිටු සභික ධුර අපේක්‍ෂක ටී. සුතාගර් යන මහත්වරු මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූහ.

 


දක්‍ෂිත සුමතිපාල මහතා මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අයුරු. උප සභාපති ධුර අපේක්‍ෂක රෝහිත ප්‍රනාන්දු, විධායක සභික ධුර අපේක්‍ෂිකා හෂිණි ආරියරත්න යන මහත්ම මහත්මීන් ද මෙහි වෙති.


අදහස් (0)

නිලවරණය පැරදුනොත් පාපන්දු ක්‍රීඩාවෙන් අයින් වෙනවා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.