Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තවමත් කම්පනයෙන්

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තවමත් කම්පනයෙන්

editorial - 2023 නොවැ මස 15 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

ජාතික කණ්ඩායමක් නියෝජනය කිරීම දක්වා පැමිණී දීර්ඝ ගමනේ, කවදා, කොතැනකදී හෝ, වේග පන්දුවක් හිසේ වැදී නැති ක්‍රිකට් ක්‍රීඩකයකු සොයාගැනීම අපහසුය. පිතිකරුවකු හෝ පන්දු යවන්නකු වේවා, ක්‍රිකට් ක්‍රීඩකයන් සියලුම දෙනාට එය පොදු අත්දැකීමකි.

ක්‍රිකට් පිටියේදී පන්දුවක් හිසේ වැදීමෙන් කම්පනයට පත්වන ක්‍රීඩකයකුට කිසියම් මානසික විවේකයක් අත්‍යවශ්‍යය. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රීඩක පිලිප් හියුස්, වසර 2014 දී පන්දුවක් හිසේ වැදී මරණයට පත්වීමෙන් පසුව, අන්තර්ජාතික ක්‍රිකට් සභාව පවා ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළේය. ක්‍රිකට් නීති වෙනස් කරමින්, පන්දුවක් හිසේ වැදීම නිසා ක්‍රීඩකයකු ‘කම්පනයට’ පත් වේ නම් ඔහු වෙනුවෙන් කණ්ඩායමකට වෙනත් ක්‍රීඩකයකු ආදේශ කිරීමටත් අවසර දුන්නේය.

කෙසේ වෙතත් එවන් අවස්ථාවලින් පසුව ක්‍රීඩකයන් වැඩි දෙනෙක් යළිදු සිහි එළවාගෙන නැවතත් තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වන නමුත් වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ඇතැමෙක් ‘අතීතයේදී වැදුණු බෝල පාරක්’ නිසා තවමත් කම්පනයෙන් සිටින බව නම් පෙනෙන්නට තිබේ. එවන් ක්‍රීඩකයන්ගේ අමනෝඥ සහ මුග්ධ ක්‍රියා කලාපය හේතුවෙන් සෙසු ක්‍රීඩකයෝත් කම්පනයට මෙන්ම කම්පාවටත් පත්වෙති.

ලෝක කුසලාන සංචාරයේදී සිදුවූයේ කුමක් ද යන්න කරුණු පැහැදිළි කිරීම සඳහා පසුගිය ඉරිදා (12 වැනිදා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී පැවැති පුවත් පත් සාකච්ඡාවේදී එක ක්‍රීඩකයකුගේ අසික්කිත හැසිරීම ඔහුටත් නොදැනී වීඩියෝ කැමරාවක සටහන් වී තිබිණ.

ලෝක කුසලාන තරගාවලියේදී ලද පරාජයෙන් මහත් වික්ෂිප්තභාවයට පත් මාධවේදීන් විසින් හී සැර වන ප්‍රශ්නවලින් දමා ගසද්දී, කණ්ඩායමේ නායකයා මෙන්ම උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධනත්, තම ක්‍රීඩකයන් ආරක්‍ෂා කරමින් උත්තර දෙමින් සිටියහ. ඒ අතරවාරයේදී තවත් ක්‍රීඩකයෙක් කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයකුට අනිසි ලෙසින් කරදර කරමින් සිටි ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ ලෝකය පුරා සංසරණය විය.

මේ වර්තමාන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මානසික තත්ත්වයයි. ඇරත් මෙම අශෝභන හැසිරීම ප්‍රදර්ශනය කළ ක්‍රීඩකයාට ඇත්තේ ද අතිශය විවාද සම්පන්න අතීත වාර්තාවකි. ඔහුට විනයක් ඇත්තේම නැත. මෙවන් ක්‍රීඩකයන් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම කොයි තරම් ඉදිරියට යා හැකිද යන්න සිතාගැනීමට වත් නොහැකිය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සිටි කීර්තිමත් සභාපතිවරයකු වූ ගාමිණී දිසානායක වැන්නකු අද සිටියේ නම්, මෙම නොසන්ඩාල ක්‍රීඩකයාගේ ක්‍රීඩාව එතැනින් හමාර වන බවට අටුවා ටීකා උවමනා නැත.

1982 දී දකුණු අප්‍රිකාවේ සංචාරය කළ කැරළිකාර ‘අරෝසා’ ශ්‍රී ලංකා කණ්ඩායමට ශ්‍රී ලංකාවේ මුල්ම ටෙස්ට් නායක බන්දුල වර්ණපුර ඇතුළු ටෙස්ට් පිලේ ක්‍රීඩකයෝ පස් දෙනෙක් ඇතුළත් වූහ. ඔවුන්ට අමතරව ටෙස්ට් දොරටුවට තට්ටු කරමින් සිටි හේමන්ත දේවප්‍රිය, ෆ්ලෙවියන් අපෝන්සු සහ එවකට ශ්‍රී ලංකාවේ සිටි දක්‍ෂතම පිතිකරුවකු වූ බර්නාඩ් පෙරේරාත් දකුණු අප්‍රිකානු සංචාරයට ඇතුළත් වූහ.

ඔවුන්ට දඬුවම් නියම කිරීමට යාමේදී, ක්‍රිකට් විධායක කමිටුවේ සිටි ජ්‍යෙෂ්ඨයන්ගේ කන්නළව්වලට කන් නොදුන් ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති දිසානායකයෝ, නිර්භය තීන්දුවකට යමින් 1982 දී දකුණු අප්‍රිකාවට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම දෙනාට වසර 25 ක ක්‍රිකට් තහනමක් පැනවූහ. පසුව එය වසර 7 කින් අවසන් කෙරුණ නමුත්, 1982 දී ගත් තීන්දුව නිසාම දකුණු අප්‍රිකානුවන්ගේ දියමන්ති සල්ලි වෙනුවෙන් ක්‍රිකට් ගැසීමට යාම අත්හළ ශ්‍රී ලාංකිකයෝ ශ්‍රී ලංකාව වෙනුවෙන් තම දහදිය ශ්‍රමය කැපකළහ. එදා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මාරාන්තික උගුළකින් ගැලවුණේය.

වර්ණ භේදවාදී ප්‍රතිපත්ති හේතුවෙන් එවකට දකුණු අප්‍රිකාව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තහනමකට ලක්ව සිටියේය. එහෙත් 1982 දී එම තීරණය නොගත්තා නම්, දකුණු අප්‍රිකානුවන්ගේ ඩොලර් වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලාංකිකයන් පේලි සැදී දකුණු අප්‍රිකාවට යනු නියතය. ඊට පසුව සිදුවන හරිය අමුතුවෙන් කිය යුතු නොවේ.

මෙම සිදුවීමෙන් වසර 40 කට පසුව එය සිහිපත් කෙරෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ විනය සම්බන්ධයෙන් විශාල ගැටළු පැන නැගී ඇති බැවිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යනු ඉතාමත් විශිෂ්ට විනයක් තිබූ ඒකකයකි. අර්ජුන රණතුංගගේ ගර්ජනයටත් පෙරාතුව, දුලිප් මෙන්ඩිස් සහ අබු ෆුවාඩ් වැන්නන් දුටු මනතින් ක්‍රීඩකයෝ තැති ගත්හ. වැරදි වැඩ නොකළහ. එහෙත් පසුකාලීනව කළමනාකරුවන්ට මෙන්ම පුහුණුකරුවන්ටත්, අවශේෂ නිලධාරීන්ටත් පිරිනැමුණු දහසින් බැඳි පියළි හේතුවෙන් ඔවුන් උත්සාහ කළේ කණ්ඩායමේ තනතුරුවල රැඳී සිටීම විනා ක්‍රීඩකයන්ට හරි පාර කියා දීමට නොවේ.

ඒ හේතුවෙන් ක්‍රීඩකයෝ අයාලේ ගියහ. ‘විනය’ කණ්ඩායම හැරදා සදහටම යන්න ගියේය.

විනයක් නැති තැන එකමුතුවක් නැත.
එකමුතුවක් නැති තැන කණ්ඩායම් හැඟීමක් නැත.
කණ්ඩායම් හැඟීමක් නැති තැන ජයග්‍රහණයක් නැත.
ජයග්‍රහණයක් නැති තැන ලැජ්ජාවක් ද නැත.
මේ අද දවසේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තත්ත්වයයි.

- දමින්ද විජේසූරිය


අදහස් (3)

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තවමත් කම්පනයෙන්
  • Waruna Kularathna Wednesday, 15 November 2023 11:05 AM

    වැදගත් ලිපියක්...!

    Reply 0       0

    A disgusted cricket fan Wednesday, 15 November 2023 11:06 AM

    මෙතැන කම්පනය වෙන්න දෙයක් නැහැ... ඔබ හොඳ නැතිනම්, ඔබ පරාදයි... පුහුණු තරග 2ත් එක්ක තරග 9 ක්ම පැරදුණා... ආසියානු කුසලාන තරගාවලියේදි 51කට සියලු දෙනා දැවී ගියා. ඉන්දියාවේදී 55 ට සියලු දෙනා දැවී ගියා. නෙදර්ලන්තය පවා ඉන්දියාවට එරෙහිව ලකුණු 250ක් ගත්තා. ටීම්ලං 10කින්ම ලංකාවට තියෙන්නේ 9 වන තැන... මේ හින්දා ශූරයින්ගේ කුසලානයත් අහිමි වෙනවා.

    Reply 0       0

    randil Wednesday, 15 November 2023 11:41 AM

    අප්පිරියයි... වෙන මොනවා කියන්නද?

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.