Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features දිල්ලි ක්‍රීඩාංගණය අරුණ් ජෙට්ලි නමට ලියැවෙයි
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

දිල්ලි ක්‍රීඩාංගණය අරුණ් ජෙට්ලි නමට ලියැවෙයි

editorial - 2023 ඔක් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(ශානුක අරවින්ද ඉන්දියා‍වේ දිල්ලි නුවර සිට)

දිල්ලි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට මෙට්‍රො රථයකින් දිල්ලි නගරය වෙත පැමිණෙන අයකුට අරුණ් ජෙට්ලි ක්‍රීඩාංගණය දක්වා යෑමට කුලී රථයක් ලබා ගැනීමට සිදුවුවහොත් එය බෙහෙවින් අසීරු කරුණක් වනු ඇත. මන්ද යත් එම ක්‍රීඩාංගණය තිබෙන ස්ථානය පිළිබඳව ඒ අවට සිටි කිසිදු කුලී රථ රියදුරකු නොදැන සිටීම පැමිණෙන අයගේ විමතියට කරුණක් විය හැකිය. 

කෙසේ හෝ අන්තර්ජාල මාර්ග සිතියම ඔස්සේ ක්‍රීඩාංගණයට යන මාර්ගය ඔවුන්ට පෙන්වීමට හැකිනම් අරුණ් ජෙට්ලි ක්‍රීඩාංගණයට යා හැකිය. එවිට මෙට්‍රෝ රථ රියැදුරන්ගේ පිළිතුර වනුයේ “මේ තියෙන්නෙ ෆෙරෝස් ෂා කෝට්ලා ක්‍රීඩාංගණයට යන පාරනෙ” යන්නයි. මෑතක් වන තුරුම ‍ෆෙරෝස් ෂා කෝට්ලා ලෙස හැඳින්වූ එම ක්‍රීඩාංගණයේ නම මේ වන විට අරුණ් ජෙට්ලි ලෙස ‍වෙනස් කර තිබීම ඊට හේතුවයි.

ෆෙරෝස් ෂා ක්‍රීඩාංගණයේ නම ඇසූ පමණින් බොහෝ ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගේ සිහියට නැගෙන්නේ අන් කිසිවක් නොව 1996 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයකදී ඉන්දියාවට එරෙහිව සනත් ජයසූරිය නිරත වූ සුපිරි පිතිහරඹයයි. ඉන්දියාවට එරෙහිව ලකුණු 272 ක් හඹා ගොස් ජයගැනීම සඳහා පන්දු 76 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් සමග ලබාගත් ලකුණු 79 හේතුවෙන් ජයසූරිය එම තරගයේ වීරයා බවටද පත්විය. 

දිල්ලියේ පිහිටි මෙම ක්‍රීඩාංගණය මෑතකදී ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් අතර වඩාත් කතා බහට ලක් වූයේ ජයසූරිය එදා ක්‍රීඩා කළ ඉනිමට නොදෙවෙනි ඉනිමක් ක්‍රීඩා කිරීමට කුසල් මෙන්ඩිස් සමත් වීමත් සමගය. ශ්‍රී ලංකා පන්දු යවන්නන් දකුණු අප්‍රිකානු පිතිකරුවන්‍ගෙන් දැඩි ලෙස පහර කෑමකට ලක්ව සිටි මොහොතක ජයග්‍රහණය සඳහා ලකුණු 429 ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටියදී කුසල් දියත් කළ ඒ ප්‍රවේගකාරී පිතිහරඹයද ජයසූරියගේ ඉනිම මෙන්ම තවත් බොහෝ කළක් යන තුරු ක්‍රීඩා ලෝලීන්ගේ මත‍කයේ රැදෙනු ඇත.

එම තරගයේදී දකුණු අප්‍රිකානු පිතිකරුවන් තිදෙනක්ම ශතක ලබාගැනීමට සමත් වුවද, තරගය නිමාවට පත්වන විට සියලු දෙනාගේ කතා බහට ලක්ව තිබුනේ පන්දු 42 කදී හයේ පහර 8 ක් සහ හතරේ පහර 4 ක් සමග කුසල් ලබාගත් වේගවත් ලකුණු 76 ඉනිමය. අවාසනාවකට මෙන් ශ්‍රී ලංකාවට එම තරගය ජයගැනීමට නොහැකි වුවද, කුසල්ගේ එම ඉනිම ශ්‍රී ලංකාවට ‍ඉතා ගෞරවනීය සටන්කාමී පරාජයක් අත්කර දීමට පාදක විය.

කලකට ඉහත දී ෆෙරෝස් ෂා කෝට්ලා ක්‍රීඩාංගණය ලෙස හැඳින්වූ එය අරුණ් ජෙට්ලි ක්‍රීඩාංගණය ලෙස වෙනස් වූ ආකාරය අපූරු කතාවකි. 

ජයසූරියගේ සහ කුසල්ගේ ඉනිම් දෙක පමණක් නොව ශ්‍රී ලංකාව සහ දිල්ලි ක්‍රීඩාංගණය සම්බන්ධ තවත් සිදුවීම් රැසක් ඇත.  1982 වසරේදී මෙම ක්‍රී‍ඩාංගණයේදී පවත්වා ඇති පළමු එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කර ඇත්තේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වීමද ඒ අතර ප්‍රධාන තැනක් ගත්තේය. ක්‍රිෂ්ණමචාරි ශ්‍රීකාන්ත්ගේ ප්‍රවේගකාරී පිතිහරඹයක් හේතුවෙන් ඉන්දියාවට කඩුලු 6 ක ජයක් හිමිව ඇති එම තරගයේදී බන්දුල වර්ණපුර විසින් ශ්‍රී ලංකාවද, කපිල් දේව් විසින් ඉන්දියාවද මෙහෙයවනු ලැබ ඇත. 

2009 වසරේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති එක්දින තරගයක්, තණතිල්ලේ ස්භාවය පිතිකරුවන්ට අනතුරු දායක බවට තහවුරු වීමත් සමග තරගය අතර මැද නතර කිරීමට සිදුව ඇත. එම තරගය සඳහා භාවිතා කළ තණතිල්ල සම්බන්ධයෙන් විනිසුරුවන් ලබාදුන් වාර්තාවක් සැලකිල්ලට ගනිමින් වසරක කාලයක් සඳහා ක්‍රීඩාංගණය තහනම් කිරීමටද අන්තර් ජාතික ක්‍රිකට් සභාව පියවර ගෙන තිබිණ. ඒ අනුව යළිත් වරක් එය ජාත්‍යන්තර තරග සඳහා යොදා ගෙන ඇත්තේ 2011 වසරේ ලෝක කුසලාන තරගාවලියේදීය.

ඉන් අනතුරු 2017 වසරේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෙම ක්‍රීඩාංගණයේදී පැවැති ටෙස්ට් තරගයක් අතරතුර විශ වායුවක් පැතිර යෑම හේතුවෙන් තරගය තාවකාලිව නතර කර ඇති අතර පසුව මුඛ ආවරණ පැළඳ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තරගයට අවතීර්ණ වී ඇත. එහිදී වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු ගමගේට හුස්ම ගැනීමේ අපහසුවක් ඇති වී ඇති අතර සුරංග ලක්මාල් සහ ඉන්දීය ක්‍රීඩක මොහො‍මඩ් සාමි ක්‍රීඩාංගණය තුළදී වමනය කර ඇති බවටද වාර්තා වී ඇත.

ආක්ෂක නිලධාරී සන්තෝෂි මහතා පවසන පරිදි දිල්ලි සහ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයට අයත් මෙම ක්‍රීඩාංගණය 1883 වසරේදී ඉදිකර ඇති අතර ඊට ෆෙරෝස් ෂා කෝට්ලා නම යොදා ඇත්තේ එය දිල්‍ලියේ ප්‍රධාන බලකොටුවක් වන ‘කෝට්ලා’ බලකොටුවට තරමක් සමීපව පිහිටා තිබීම හේතුවෙනි. මෙය ඉන්දියාවේ පිහිටි දෙවැනි පැරණිතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වන අතර මෙම ක්‍රීඩාංගණයට පෙර ජත්‍යන්තර තරග පැවැත්වී ඇත්තේ ‍කොල්කට‍ාවේ ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ පමණි.

2017 වසරේ පැවැති උත්සවයකදි මෙම ක්‍රීඩාංගණයට අයත් ප්‍රධාන ගොඩනැගිලි ත්‍රිත්වය ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක බිෂන් සිං බේඩිගේ, හිටපු තුන් ඉරියව් ක්‍රීඩක මොහින්දර් අමරනාත්ගේ සහ ආරම්භක පිතිකරු ගෞතම් ගම්භීර්ගේ නම්වලින්ද, සත්කාර කණ්ඩායමේ විවේකාගාරය රාමන් ලම්බාගේ සහ ආගන්තුක කණ්ඩායමේ විවේකාගාරය ප්‍රකාෂ් භණ්ඩාරිගේ නම්වලින්ද නම් කිරීමට දිල්ලි සහ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය පියවර ගෙන තිබේ.

දිල්ලි සහ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ හිටපු සභාපතිවරයකු මෙන්ම භාරතීය ජනතා පක්ෂය නියෝජනය කළ ඉන්දිය රජයේ හිටපු ප්‍රභල අමාත්‍යවරයකුද වන අරුණ් ජෙට්ලි මහතා 2019 වසරේ අගෝස්තු මාසයේදී අභාවප්‍රාප්තව ඇති අතර ඔහුට කරන ගෞරවයක් ලෙස එම වසරේ සැප්තැම්බර් මාසයේ සිට මෙම ක්‍රීඩාංගණයේ නම අරුණ් ජෙට්ලි ක්‍රීඩාංගණය ලෙස නම් කර තිබේ.

විරේන්ද්‍ර ෂෙවාග්, විරාට් කෝලි, ගෞතම් ගම්භීර්, අෂීෂ් නේරා සහ රිෂාබ් පාන්ට් වැඩි ක්‍රීඩකයන් ඉන්දීය කණ්ඩායම නියෝජනය කිරීම සඳහා පැමිණි ගමනේදී ඔවුන්ට අරුණ් ජෙට්ලි මහතා ‍විශාල සහයෝගයක් ලබා දී ඇති බවටද කරුණු අනාවරණය වේ. ඔහු දිල්ලි සහ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපතීත්වය දැරූ කාල සීමාවේදී ක්‍රීඩාංගණය පෙර තිබූ තත්වයේ සිට දැන් තිබෙන තත්වය දක්වා සංවර්ධනය කිරීම සඳහාද විශාල දායකත්වයක් දක්වා තිබේ.

‍‍‍මෙවර ලෝක කුසලාන තරගාවලිය නිමාවීමට පෙර ශ්‍රී ලංකාවට මෙම ක්‍රීඩ‍ාංගණයේදී තවත් තරගයකට සහභාගි වීමට සිදුවන අතර එම තරගය නොවැම්බර් මස 6 වැනිදා බංග්ල‍ාදේශයට එරෙහිව පැවැත්වෙනු ඇත. ඉතිහාසය දෙස බලන කල මෙම ක්‍රීඩාංගණය පිතිකරුවන්ට පාරාදිසයක් ලෙස නම් දරා ඇති බැවින් එම තරගයද දෙපිලේම පන්දු යවන්නන්ට තවත් අමිහිරි මතකයක් බවට පත්වනු ඇතැයි අනුමාන කළ හැකිය.

විශේෂ ස්තුතිය - ක්‍රීඩ‍ාංගණයේ ආරක්ෂක අංශයේ සන්තෝෂි මහතාට 


අදහස් (0)

දිල්ලි ක්‍රීඩාංගණය අරුණ් ජෙට්ලි නමට ලියැවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.