Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features එංගලන්තය පරාද කරන්න අපිට පුළුවන්
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

එංගලන්තය පරාද කරන්න අපිට පුළුවන්

editorial - 2023 ඔක් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද බෙංගලූරු නුවර එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේ සිට..)

වත්මත් ලෝක ශුරයන් වුවත්, මේ වන විට පත්ව සිටින තත්වය අනුව එංගලන්ත කණ්ඩායම මත ගොඩනැගී ඇති පීඩනය වැඩි බැවින් බෙංගලූරු නුවර එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේ හෙට (26 වැනිදා) පැවැත්වෙන තරගයේදී ඔවුන් පරාජය කිරීමට ශ්‍රී ලංකාවට අනගි අවස්ථාවක් පවතින බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පැවැසිය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු සැසියක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිල්වර්වුඩ් මහතා ඒ බව කියා සිටියේය. 2019 එක්දින ලෝක කුසලාන දිනූ එංගලන්තය, මෙවර (2023) තරගාවලියේදී මෙතෙක් සහභාගි වූ තරග 4 න් 3 ක්ම පරාජයට පත්වෙමින් ලකුණු සටහ‍නේ පතුළටම වැටී සිටියි. එංගලන්තයට වඩා එක් පියවරක් ඉදිරියෙන් සිටින ශ්‍රී ලංකාවද මේ දක්වා ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණි.

“‍මේ තරගයට කළින් අපි පුහුණු සැසි 3 කට සහභාගි වුණා. අපේ කණ්ඩාය‍ම මේ වෙනකොට ගෙදර වැඩ කරලා තරගයට හොඳින් සූදානම් වෙලයි ඉන්නෙ. තරගාවලියෙ ඉදිරියට යන්න කණ්ඩායම් දෙකටම මේක තීරණාත්මක තරගයක්. ඒත් මේ තරගෙදි අපිට වඩා එයාලට තියෙන පීඩනය වැඩියි කියලා මම හිතනවා. ඒ එයාලා හිටපු ලෝක ශූරයො නිසා.” යැයිද සිල්වර්වුඩ් මහතා කියා සිටියේය.

නෙදර්ලන්ත තරගයේදී පාදයේ ආබාධයකට ලක්වූ පිට දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ, බෙංගලූරු නුවරට පැමිණීමෙන් අනතුරුව එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂණයකට පෙනී සිටි අතර ඔහුගේ ආබාධ තත්වය එතරම් බරපතල නොවන බව ඉන් තහවුරු වී ඇත. එබැවින් එංගලන්ත තරගය සඳහා කණ්ඩායම තෝරාගැනමේදී තීක්ෂණ පිළිබඳව සැලකිල්ලක් දක්වන බවද සිල්වර්වුඩ් මහතා සඳහන් කළේය.

“ආබාධ සහිත ක්‍රීඩකයන් කිහිපදෙනෙක්ම ඉන්න කණ්ඩායමක් කලමනාකරණය කරන එක තරමක් අපහසු කාර්යයක්. ඒත් මේ වෙලාවෙ අපිට තියෙන සම්පත්වලින් අපි උපරිම ප්‍රයෝජනය ගන්න ඕන. ‍‍තීක්ෂණ මේ වන විට යහපත් සෞඛ්‍ය තත්වයකින් ඉන්නවා. ඒ නිසා එංගලන්ත තරගයේදී ඔහුට ක්‍රීඩා කරන්න පුලුවන් වේවි කියලා මම හිතනවා” යැයිද සිල්වර්වුඩ් මහතා කීය.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ අවසන් තරග දෙකේදී දස්කම් දැක්වීමට අපොහොසත් වූ චාමික කරුණාරත්න වෙනුවට මෙම තරගය සඳහා ඇන්ජලෝ මැතිව්ස් කැඳවීමේ සූදානමක් පවතින බවද කණ්ඩායමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. බෙංගලූරු නුවරදී පැවැති පුහුණු සැසි 3 ටම සහභාගි වූ ක්‍රීඩකයන් දෙදෙනාගෙන් අයෙක් වූ මැතිව්ස්, තරුණ ක්‍රීඩකයන් සමග අත්දැකීම් බෙදාගනිමින් අදහස් හුවමාරුකර ගන්නා අයුරු දක්නට ලැබිණ.

“මේක මගේ සිවුවැනි ව‍ගේම අවසන් ‍එක්දින ලෝක කුසලාන තරගාවලිය. ලැබුණ අවස්ථාව ගැන මම හුඟක් සතුටු වෙනවා. මගේ උපරිමය ලබා දීලා කණ්ඩායම අවසන් පූර්ව වටයට ගෙනියන්න  බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ආබාධයක් නිසා සංචිතයෙන් ඉවත් වුණ මතීෂට මම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඉදිරි වසර 10 තුළදී ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් විශාල සේවයක් ඉටු කරයි කියලා මම හිතනවා.” යැයි තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවේදී මැතිව්ස් පැවසිය.

“මම කණ්ඩායමට එක් වෙන්නෙ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් හැටියට. ඒ නිසා නායකයා මට පන්දු යවන්න අවස්ථාව ලබා දුන්නොත් ඒකට මම ලැහැස්ති වෙලයි ඉන්නෙ. කණ්ඩාය‍මේ අවශ්‍යතාව අනුව මම පන්දුවට පහරදෙන තැන වෙනස් වෙන්න පුළුවන්. කොයි ස්ථානයෙ පන්දුවට පහරදුන්නත් කණ්ඩායම වෙනුවෙන් මගේ උපරිමට දෙන්න මම බලාපොරොත්තු වෙනවා.” යැයිද එහිද මැතිව්ස් වැඩි දුරටත් කියා සිටියේය.

එම වෙනස්කම හැරුණුකොට නෙදර්ලන්තයට එරෙහිව ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම, මෙම තරගයට පිවිසීමේදී වෙනසක් සිදුකරයි නම් ඒ විශේෂඥ දඟ පන්දු යවන්නකුගේ ස්ථානයක් සඳහාය. දුනිත් වෙල්ලාලගේ බංකුවේ රඳවමින් නෙදර්ලන්ත තරගයට කැඳවූ දුෂාන් හේමන්ත එහිදී ඕවර 8 ක් යවමින් ලකුණු 42 ක් ලබාදුන් නමුත් කඩුලු දවාගැනීමට අසමත් විය.

ඒ අනුව මෙම තරගයේදී දුෂාන්ට තවත් අවස්ථාවක් ලබා දෙනවාද, නැතහොත් වෙල්ලාලගේ යළිත් කණ්ඩායමට කැඳවනවාද යන්න පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමනාකාරීත්වය ඊයේ (25 වැනිදා) පස්වරුව වන විටත් අවධානය යොමුකරමින් සිටියේය. එංගලන්ත කණ්ඩායමේ මුල් පිතිකරුවන් 8 දෙනාගෙන් 5 ක්ම දකුණත් පිතිකරුවන් වීම නිසා දුනිත්ට යළිත් කණ්ඩායමට එක්වීමට වැඩි ඉඩක් ඇතැයි අනුමාන කළ හැකිය.

මේ අතර අද සහ ඊයේ (24 වැනිදා) සහභාගි වූ පුහුණු සැසි දෙකේදීම එංගලන්ත පිතිකරුවන් දඟ පන්දු යවන්නන්ට මුහුණදීම සඳහා වැඩි උනන්දුවක් දැක්වූ අතර එහිදී ඔවුන් වැඩි වශයෙන් ස්වීප් සහ රිවස් ස්වීප් පහර එල්ල කළ අයුරු දැකගත හැකි විය. ‍මඳ වේග පන්දු යවන්නකු වන බෙන් ස්ටෝක්ස්ද පුහුණු සැසියේදී පන්දුවට පහරදීම සඳහා පැමිණි එංගලන්ත පිතිකරුවන්ට දිගින් දිගටම පා දඟ පන්දු යවන අයුරුද නිරීක්ෂණය විය.

මේ දක්වා ශ්‍රී ලංකාව සහ එංගලන්තය එක්දින ලෝක කුසලාන තරග 11 කදී එකිනෙකාට එරෙහිව තරග වැදී ඇති අතර ඉන් තරග 6 ක් ජයගැනීමට එංගලනත්යත්, 5 ක් ජයගැනීමට ශ්‍රී ලංකාවත් සමත්ව තිබේ. එදා මෙදා තුර එක්දින ක්‍රිකට් ඉතිහාසයේ මෙම කණ්ඩායම් දෙක අතර තරග 78 ක් පවත්වා ඇති අතර ඉන් තරග 38 ජය එංගලන්තයටත්, 36 ක ජය ශ්‍රී ලංකාවටත් හිමිව තිබේ. ඒ අනුව ජයග්‍රහණ අතින් ගත්කළ මෙම කණ්ඩායම් දෙක අතර සැලකිය යුතු පරතරයක් නොමැති බවත්, කණ්ඩායම් දෙකම කරට කර සිටින බවද පෙනී යයි.

 

ශ්‍රී ලංකා සංචිතය  
කුසල් මෙන්ඩිස් (නායක), කුසල් ජනිත්, දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුෂාන් හේමන්ත, කසුන් රාජිත, ළහිරු කුමාර, දිල්ෂාන් මධුෂංක සහ චාමික කරුණාරත්න

එංගලන්ත සංචිතය ‍
ජොස් බට්ලර්(නායක), මුයින් අලී, ගුස් ඇට්කින්සන්, ජොනී බෙයාස්ටෝ, සෑම් කරන්, ලයෑම් ලිවිංග්ස්ටන්, ඩේවිඩ් මැලන්, ආදිල් රෂීඩ්, ජෝ රූට්, ජේසන් රෝයි, බෙන් ස්ටොක්ස්, හැරී බෘක්, මාක් වුඩ්, බ්‍රයිඩන් කාස් සහ ක්‍රිස් වෝක්ස්

 

ඡායාරූප - ළහිරු හර්ෂණ


අදහස් (0)

එංගලන්තය පරාද කරන්න අපිට පුළුවන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.