Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features ඉතිහාසයේ සරදම්

ඉතිහාසයේ සරදම්

editorial - 2023 නොවැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ ආමන්ත්‍රණය 2000 වසරෙන් පසුව උපන් දරුවන් වෙනුවෙනි. ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහණයෙන්, හෙට දවස පිළිබඳ කිසියම් වූ ආකාරයක විශ්වාසයක් තැබිය හැකි නම්, ඒ වසර 2000 න් පසුව උපන් දරුවන් කෙරේ පමණි.

කවුරුන් පිළිගත්තත් නැතත් ඇත්ත තිත්තය.

එබැවින් තවමත් වයස විසි ගණන් වල සිටින දරුවන්ට ඔවුන් නොදන්නා ඉතිහාසය කියාදිය යුතුව තිබේ. එය ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් සතු වගකීමකි. ඉදින් මෙම තීරුවේ පළවන කරුණු ප්‍රතික්ෂේප කළ හැකිනම්, ඒවා, ඔප්පු කළ හැකි සාධක ද ඇතිව, වැඩිහිටියන් විසින්, අද දවසේ වයස විසි ගණන් වල දරුවන්ට කියාදෙත්වා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පෙරේදා (06 වැනිදා) නවදිල්ලියේදී පැවැති තරගය අතහැර දමන ලද කල්හි, ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ තරග 7 කින් ජයගත හැකිවූයේ තරග 2 ක් පමණි. මෙවර ලෝක කුසලාන තරගාවලියට යද්දී ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳ, කිසිවකු බලාපොරොත්තු තැබුවේ ද නැත.

1999 ලෝක කුසලාන තරගාවලියේදී තිබුණේ වෙනත් පසුබිමකි.

1996 දී ලෝක කුසලාන දිනාගත් අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම 1999 ලෝක කුසලාන තරගාගවලියට ගියේ වසර 4 කට පෙරදී දිනාගත් කුසලාන ආරක්‍ෂා කරගැනීමේ අරමුණ ඇතිවය. ඒ වෙනුවෙන් වෙනමම ගීතයක් ද නිර්මාණය කරන ලද අතර ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ගෙවන ලද මුදල රුපියල් ලක්‍ෂ 50 කි.

එදා අර්ජුනගේ කණ්ඩායමට ඇතුළත් වූ ක්‍රීඩකයන් මෙසේය.

අර්ජුන රණතුංග (නායක), සනත් ජයසූරිය, රොෂාන් මහානාම, අරවින්ද ද සිල්වා, මාවන් අතපත්තු, හෂාන් තිලකරත්න, උපුල් චන්දන, මහේල ජයවර්ධන, රොමේෂ් කළුවිතාරණ, චමින්ද වාස්, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, මුත්තයියා මුරලිදරන් සහ එරික් උපශාන්ත කණ්ඩායමේ සිටියහ.

එදා  ‘ඒ’ කාණ්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරග 5 කින් ජයගත්තේ තරග 2 ක් පමණකි. ශ්‍රී ලංකා කණ්ඩායමට පරාජය කළ හැකිවූයේ සිම්බාබ්වේ සහ කෙන්යානු කණ්ඩායම් පමණි. ශ්‍රී ලංකාව හමුවේ පරාජය වූ නමුත්, සිම්බාබ්වේ ක්‍රීඩකයෝ සුපිරි 6 දෙනාගේ වටයටත් සුදුසුකම් ලබාගත්හ. එහෙත් ලෝක ශූරයෝ පළමු වටයෙන්ම ඉවතට වීසි වී ගියහ.

ශ්‍රී ලංකා කණ්ඩායම 1999 දී මුහුණ දුන් තත්ත්වයත්, 2019 දී ලෝක කුසලාන දිනාගත් එංගලන්ත කණ්ඩායම මෙම තරගාවලියේදී මුහුණ දෙන තත්ත්වයත් අතර වැඩි වෙනසක් නොවේ. එහෙත් ඉතිහාසය නිර්මාණය වන්නේ අපූරු ආකාරයෙනි.

1999 දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයාව සිටි අර්ජුන රණතුංග නායකත්වයෙන් ඉවත් කර කණ්ඩායමේ නායකත්වය සනත් ජයසූරිය වෙත පවරන ලදි. ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැර, පළමු වැනි ක්‍රිකට් අතුරු කමිටුව පත්කරන ලදි.

2023 දී ලෝක කුසලාන තරගාවලියට යද්දී කණ්ඩායමේ නායකයා වූ දසුන් ශානකගේ ඔටුන්න කුසල් මෙන්ඩිස් අත පත්වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැර අර්ජුන රණතුංගගේ සභාපතිත්වයෙන් අතුරු කමිටුවක් පත්කර තිබේ.

මේවා ඉතිහාසයේ සරදම් ය.


අදහස් (0)

ඉතිහාසයේ සරදම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.