Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic සඳුන්ගෙන් පන්දු 39කදී ශතකයක්

සඳුන්ගෙන් පන්දු 39කදී ශතකයක්

රොෂාන් ගුණරත්න - 2019 දෙසැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සීමිත ඕවර ආරාධිත ක්‍රිකට් තරගාවලියේ අද (19 වැනිදා) පැවැති තරගයකදී බී.ආර්.සී පිලට එරෙහිව ශ්‍රී ලංකාවේ දේශීය තරගාවලියකදී වාර්තාවූ වේගවත්ම ශතකය ලබාගැනීමට එස්.එස්.සී පිලේ සඳුන් වීරක්කොඩි සමත්විය. පන්දු 39 කදී වාර්තාවූ සඳුන්ගේ ශතකයට හයේ පහර 9 ක් සහ හතරේ පහර 10 ක් ඇතුළත් විය.

මින්පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් එම වාර්තාවට හිමිකම් කියන ලැබුවේ ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව පන්දු 42 කදී ශතකය ලබාගත් භානුක රාජපක්ෂ විසින්ය.

අර්ධ ශතකය පන්දු 24 කදී සම්පූර්ණ කළ සඳුන් වීරක්කොඩිට ශතකය කරා යෑමේදි අවශ්‍ය වූයේ තවත් පන්දු 15 ක් පමණි.

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පන්දු 31 කදි ශතකයක් ලබාගත් ඒ.බී.ඩිවිලියර්ස් ජාත්‍යන්තර තරගයක වේගවත්ම ශතකයට හිමිකම් කියන අතර ජාත්‍යන්තර නොවන සීමිත ඕවර තරගයක පන්දු 36 කදී ශතකයක් ලබාගනිමින් එම වාර්තාවට හිමිකම් කීමට සමර්සෙට් පිල නියෝජනය කළ ග්‍රැහැම් රෝස් සමත්විය.

පසුගිය නොවැම්බර් මාසයේදී ලීවර්ඞ් අයිලන්ඞ් පිලට එරෙහිව ජැමෙයිකාවේ රෝව්මන් පවෙල් පන්දු 38 කදී ශතකයක් ලබාගනිමින් වේගවත්ම ශතක ලබාගත් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්වන විට අද බී.ආර්.සී පිලට එරෙහිව පන්දු 39 කදී ශතකයක් ලබාගත් එස්.එස්.සී පිලේ සඳුන් වීරක්කොඩි තෙවැනි ස්ථානයට පත්විය.

කුරුණෑගල යොවුන් ක්‍රීඩා සමාජයට එරෙහිව 2005-06 තරග වාරයේදී පන්දු 12 කදී අර්ධ ශතකයක් ලබාගත් රාගම පිලේ කෞෂල්‍ය වීරරත්න සීමිත ඕවර තරගයකදී ලබාගත් ලොව වේගවත්ම අර්ධ ශතකයට හිමිකම් කියන්නේය.

බී.ආර්.සී පිලට එරෙහිව අද පැවැති තරගයේදී තරිඳු රත්නායක සිය ඕවර 10 ලකුණු 24 කට සීමාකරමින් කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


බී.ආර්.සී - ඕවර 37.2 කදී සියලුදෙනා දැවී 112
(සවින් ගුණසේකර 23, රමින්ද විජේසූරිය 25, තරිඳු රත්නායක 24/5, සචිත්‍ර සේනානායක 04/2)

එස්.එස්.සී - ඕවර 9.2 කදී කිසිවකු නොදැවී 113
(සඳුන් වීරක්කොඩි නොදැවී 101)

 


අදහස් (0)

සඳුන්ගෙන් පන්දු 39කදී ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.