Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic මේරියන්ස් - එන්.සී.සී. අවසන් තරගය හෙට

මේරියන්ස් - එන්.සී.සී. අවසන් තරගය හෙට

රොෂාන් ගුණරත්න - 2019 දෙසැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සීමිත ඕවර ආරාධිත ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය හලාවත මේරියන්ස් කණ්ඩායම සහ එන්.සී.සී. කණ්ඩායම අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී හෙට (31 වැනිදා) පැවැත්වේ.

පළමු අවසන් පූර්ව තරගයේදී එස්.එස්.සී පිලට එරෙහිව කඩුලු 3 ක ජයක් හිමිකර ගත් හලාවත මේරියන්ස් පිල අවසන් මහ තරගයට පිවිසියේය. අවසන් පූර්ව තරගයේදී යුද හමුදා පිලට එරෙහිව ලකුණු 22 ක ජයක් හිමිකරගත් එන්.සී.සී පිල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය.

එන්.සී.සී පිල නියෝජනය කරන ඇන්ජලෝ පෙරේරා (383) මෙවර සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට සමත්වී ඇත. තරග 8 ක ඉන්ම 7 කදී අර්ධ ශතක 4 ක් සමගින් ලකුණු 383 ක් ලබාගෙන ඇති ඇන්ජලෝ පෙරේරා වරාය අධිකාරී පිලට එරෙහිව ලබාගත් ලකුණු 99 මෙවර තරගාවලියේදී ලබාගත් ඉහළ ලකුණු සංඛ්‍යාව ලෙස සටහන්වේ. ඊට අමතරව එන්.සී.සී. පිලේ මහේල උඩවත්ත (268), උපුල් තරංග (244) සහ පැතුම් නිස්සංක (224) මෙවර සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් 10 දෙනා අතර සිටිති.

කඩුලු 16 ක් ලබාගනිමින් මෙවර සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නන් අතර පෙරමුණ ගැනීමට එන්.සී.සී පිලේ සචිඳු කොළඹගේ සමත්වී ඇත. ඔහුට අමතරව කඩුලු 16 ක් ලබාගත් හලාවත මේරියන්ස් පිලේ කමිඳු මෙන්ඩිස් සම ස්ථානයේ සිටී.

තරග 6 කට ක්‍රීඩා කර ඇති සචිඳු කොළඹගේ සී.සී.සී පිලට එරෙහිව ලකුණු 46 කදී ලබාගත් කඩුලු 5 මෙවර තරගාවලියේදි ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස වාර්තා වේ. චාමික කරුණාරත්න කඩුලු 11 ක් සහ දිලේෂ් ගුණරත්න කඩුලු 10 ක් දවාගනිමින් වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නන් 10 දෙනා අතර පසුවෙති.

හලාවත් මේරියන්ස් පිල නියෝජනය කරන ශෙහාන් ජයසූරිය තරග 7 කදී අර්ධ ශතක 3 ක් සමගින් ලකුණු 286 ක් ලබාගනිමින් මෙවර සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර තෙවැනි ස්ථානයේ පසුවන්නේය. ලසිත් කෲස්පුල්ලේ ලකුණු 249 ක් රැස්කරමින් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් 10 දෙනා අතර සිටින අනෙක් මේරියන්ස් ක්‍රීඩකයා වෙයි.

නමුත් අර්ධ අවසන් පූර්ව තරගයේදී සහ අවසන් පූර්ව තරගයේදී වැඩි කථාබහට ලක්වූ ක්‍රීඩකයා බවට පත්වීමට ඉන්දීය ජාතික ක්‍රීඩකයකු වන සුමිත් ඝාදිගඕන්කර් සමත්වී ඇත. අර්ධ අවසන් පූර්ව තරගයේදී පානදුර පිලට එරෙහිව ශතකයක් (100) ලබාගත් ඝාදිගඕන්කර් ඊයේ (29 වැනිදා) පැවැති අවසන් පූර්ව තරගයේදී එස්.එස්.සී පිලට එරෙහිව ලකුණු 99 ක් ලබාගැනිමට සමත්විය. තරග 2 කට පමණක් ක්‍රීඩාකර ඇති ඔහු මේ වනවිට ලකුණු 199 ක් ලබාගෙන ඇති අතර හෙට පැවැත්වෙන අවසන් තරගයේදී එන්.සී.සී පිලට ප්‍රබල තර්ජනයක් වනු ඇත.

ප්‍රබල පිතිකරුවන්ට තර්ජනයක් වෙමින් කඩුලු 16 ක් දවාගත් කමිඳු මෙන්ඩිස් මෙවර තරගාවලියේදී දැනට වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා බවට පත්වී ඇත. තරග 7 කට ක්‍රීඩාකර ඇති කමිඳු මෙන්ඩිස් මූලික වටයේ තරගයකදී එන්.සී.සී පිලට එරෙහිව ලකුණු 33 කට ලබාගත් කඩුලු 5 මෙවර තරගාවලියේදී ඔහුගේ ඉහළම දස්කම ලෙස සටහන් වේ. චතුරංග කුමාර කඩුලු 9 ක් සහ ශෙහාන් ජයසූරිය කඩුලු 8 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර හලාවත මේරියන්ස් පන්දු බලඇණිය ශක්තිමත් කිරීමට ඔවුන් සමත්වනු ඇත.


අදහස් (0)

මේරියන්ස් - එන්.සී.සී. අවසන් තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.