ජයග්‍රහණය සඳහා ලකුණු 172 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල ක්‍රීඩකයෝ ඕවර 17.3 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. නායක භානුක රාජපක්ෂ (නොදැවී 37) සහ අසාම් ඛාන් (නොදැවී 35) තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 34 කදී ලකුණු 68 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ. පන්දු 24 කදී වාර්තා වූ භානුකගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 6 ක්ද, පන්දු 16 කදී වාර්තා වූ අසාම්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක්ද ඇතුළත් විය.
ආරම්භක පිතිකරුවන් වූ ධනුෂ්ක ගුණතිලක (38) සහ හසන් අලී (56) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 63 කදී ලකුණු 97 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනගමින් ගාල්ල කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ. ක්වායිස් අහමඩ්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් ධනුෂ්ක දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්විය. පන්දු 28 කට මුහුණදුන් ධනුෂ්ක හතරේ පහර 5 ක් සමගද, පන්දු 38 කට මුහුණදුන් හසන් අලී හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමගද ලකුණු රැස්කළේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම ඕවර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 171 ක් ලබාගත්තේය. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ මොහොමඩ් අමීර් ලකුණු 26 කට කඩුලු 5 ක්ද, ලක්ෂාන් සඳකැන් ලකුණු 33 කට කඩුලු 3 ක්ද බිඳහෙළමින් කොළඹ කණ්ඩායමේ පිතිකරුවන් පීඩනයට පත් කළහ. මේ දක්වා පැවති තරගවලදී පන්දු යවන්නෙක් දැක්වූ ඉහළම දක්ෂතාවය ලෙස අමීර්ගේ මෙම පන්දු යැවීම සටහන් විය.
කොළඹ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ඩැනියෙල් බෙල් ඩ්‍රමන්ඩ් පන්දු 36 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 44 ක් රැස්කළේය. ආරම්භක පිතිකරු දිනේෂ් චන්දිමාල් පන්දු 20 කදී ලකුණු 35 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගනි. යළිත් වරක් පිතිකරුවකු ලෙස අසාර්ථක වූ නායක ඇන‍්‍ජලෝ මැතිව්ස්ට පන්දු 9 කදී හතරේ පහරක් සමග ලබාගත හැකි වූයේ ලකුණු 11 ක් පමණි.
කොළඹ කිංග්ස් පිල - ඕවර 20 කදී සියලු දෙනා දැවී 171
(දිනේෂ් චන්දිමාල් 35, ඩැනියෙල් බෙල් ඩ්‍රමන්ඩ් 44, තික්ෂිල ද සිල්වා 27, ඉසුරු උදාන 21, මොහොමඩ් අමීර් 26/5, ලක්ෂාන් සඳකැන් 33/3)
ගාල්ල ග්ලැඩියේටර්ස් පිල - ඕවර 17.3 කදී කඩුලු 2 ක් දැවී 175
(ධනුෂ්ක ගුණතිලක 38, හසන් අලී 56, භානුක රජපක්ෂ නොදැවී 37, අසාම් ඛාන් නොදැවී 35)