Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner සගයෝ මහේලට සරිලන තෑග්ගක් සොයති

සගයෝ මහේලට සරිලන තෑග්ගක් සොයති

දිලිනි මල්රුක්ෂි - 2014 අගෝ මස 13 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශී‍්‍ර ලංකාවේ ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාව වෙනුවෙන් වසර 17 ක් පුරා මාහැගි මෙහෙවරක් කළ මහේල ජයවර්ධන ටෙස්ට් පිටියෙන් සමුගන්නා තරගය කොළඹ එස්. එස්. සී. පිටියේදී හෙට (14 වැනිදාð ආරම්භ වෙයි. පාකිස්තානු පිලට එරෙහිව ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ලබාගත් ජයග‍්‍රහණය නිසා ශී‍්‍ර ලංකා පිල මෙම තරගයට පිවිසෙන්නේ පීඩනයකින් තොරව වන නමුත් තමන්ගේ ජ්‍යෙෂ්ඨ සහෘදයාට සරිලන ත්‍යාගයක් පිරිනැමීමට කණ්ඩායම උත්සාහ ගන්නා හෙයින් සියලූ දෙනාගේම ඒකායන බලාපොරොත්තුව තරගය ජයගැනීමයි.

ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ගේ වෑයම සාර්ථක වුවහොත් කලකට පසුව 2-0  ක තරගාවලි ජයක් ලබාගැනීමේ අවස්ථාව ශී‍්‍ර ලංකා පිලට ලැබෙනු ඇත.

”මහේලගේ අවසන් ටෙස්ට් තරගය මේකයි. එය අපට හැගීම් බර තරගයක් වේවි. ඒ නිසාම අපට  ඕනේ මේ තරගය ජයග‍්‍රහණය කරන්නයි” යයි ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

තරගය පැවැත්වෙන එස්. එස්. සී තණතීරුව වෙනදාට වඩා දැඩි ගතියකින් යුතු බැවින් එහි තරමක් වැඩි ඉපිළීමක් අපේක්‍ෂා කළ හැකිය. දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව තරගය පැවැති අවස්ථාවේදී තණතීරුවේ දැකගන්නට ලැබුණු වියළි ගතිය ඊයේ දක්නට නොතිබිණ.

මෙම තත්ත්වය මත වේග පන්දු යවන්නන් දෙදෙනකුට කණ්ඩායමේ ඉඩ තිබේ. ශමින්ද එරංග තුවාල ලබා සිටින හෙයින් ඔහු වෙනුවට චානක වෙළගෙදර කණ්ඩායමට එක්වීමට වැඩි ඉඩකඩක් තිබෙන නමුත් එංගලන්තයේ සිට පැමිණෙන ළහිරු ගමගේත් සූදානමින් සිටින කී‍්‍රඩකයකු වශයෙන් සංචිතයට එක්වී සිටී.

කෙසේ වෙතත් කිත්රුවන් විතානගේට සහ උපුල් තරංග දෙදෙනාටම හෙට තරගයේදී ස්ථාන අහිමි වුවහොත් එය පුදුමයට කාරණාවක් නොවන්නේ පසුගිය තරග තුනේදී ඔවුන්ගේ අසාර්ථකත්වය හේතුවෙනි. ඔවුන් දෙදෙනා වෙනුවට දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න නැවතත් කණ්ඩායමට එක්වීමේ අවස්ථාවක්ද තිබේ.

ශී‍්‍ර ලංකා කණ්ඩායම අවසන් වරට කී‍්‍රඩා කළ ටෙස්ට් තරග පහේදීම ඉතාමත් තියුණු අවසාන දැකගත හැකිවූ අතර ඒවායින් අවස්ථා තුනකදීම අවසන් දිනයේ අවසන්  ඕවරය දක්වා තරග ඇදී ගියේය. ඒ අතරවාරයේදී පාකිස්තානුවන්ගේ අස්ථාවර කී‍්‍රඩා විලාසය සම්බන්ධයෙන් පාකිස්තානු පිලේ හිටපු නායකයන්ගේ කෙළවරක් නැති දෝෂාරෝපණ මිස්බා උල්හක් ඇතුළු කණ්ඩායමට එල්ලවී තිබේ.

ටෙස්ට් කී‍්‍රඩකයන් අතර තනි කී‍්‍රඩාංගණයකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීමේ ලෝක වාර්තාවද හිමිකරගෙන සිටින මහේල ජයවර්ධන එස්. එස්. සී. පිටියේදී ටෙස්ට් තරග 26 කදී මේ දක්වා ලබාගෙන සිටින ලකුණු සංඛ්‍යාව 2863 කි. ඔහුගේ ටෙස්ට් ශතක 34 න් 11 ක් ලබාගෙන ඇත්තේද එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදීම වන අතර හෙට ඇරඹෙන තරගයේදී තවත් ලකුණු 137 ක් ලබාගත හැකි වුවහොත් තනි කී‍්‍රඩාංගණයකදී ලකුණු 3000 ක් ඉක්මවා රැස්කළ ලෝකයේ පළමු කී‍්‍රඩකයා වීමේ අවස්ථාවද මහේලට ලබාගත හැකිවනු ඇත.

”මහේල වගේ කී‍්‍රඩකයෙකුට ආදේශකයක් හොයාගන්න අපට දීර්ඝ කාලයක් ගතවේවි. එයා ඒ තරමටම දුර්ලභ ගණයේ කී‍්‍රඩකයෙක්”

”එයාගේ සේවය වචන වලින් තක්සේරු කරන්න බෑ. කණ්ඩායමක් හැටියට මහේලගේ සමුගැනීම ගැන අප විශාල වශයෙන් කණගාටු වෙනවා. ඒ වෙනුවෙන් අපට කරන්න පුළුවන් එකම දේ තමයි ඔහුට ලස්සන තෑග්ගක් ලෙසින් මේ තරගය දිනලා දෙන එක” යයිද ඇන්ජලෝ මැතිව්ස් ඊයේ පැවසීය.

මෙම තරගයේදී පාකිස්තානු පිල මුහුණ දෙන විශාලතම පීඩනය වන්නේ ඔවුන්ගේ අංක එකේ පන්දු යවන්නා වන සයීඞ් අජ්මල් ගාල්ලේ පැවැති තරගයේදී සැක සහිත ඉරියව්වකින් පන්දු යැවීම පිළිබඳව චෝදනාවට ලක්ව සිටීමයි. ටෙස්ට් තරග 34 කදී කඩුලූ 174 ක් දවාගෙන සිටින අජ්මල්ට තවදුරටත් කී‍්‍රඩා කළ හැක්කේ මේ මස අගදී පැවැත්වෙන පරීක්‍ෂණය දක්වා පමණි.

කෙසේ වෙතත් පාකිස්තානු නායක මිස්බා උල් හක් පවසන්නේ පසුගිය වසර අගදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී කළාක් මෙන් තරගාවලිය සම කිරීමට තමන්ට අවස්ථාව ඇති බවයි.

ශ‍්‍රී ලංකා සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), ළහිරු තිරිමාන්න (උප නායක), කෞෂාල් සිල්වා, උපුල් තරංග, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, කිත්රුවන් විතානගේ, නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, ශාමින්ද එරංග, චානක වෙලගෙදර, ධම්මික ප‍්‍රසාද්, දිමුත් කරුණාරත්න, ළහිරු ගමගේ සහ බිනුර ප‍්‍රනාන්දු

පාකිස්තානු සංචිතය
මිස්බා උල් හක් (නායක), අහ්මඞ් ශෙෂාඞ්, උමාර් අක්මාල්, යුනිස් ඛාන්, අසාර් අලී, කුරාම් මන්සූර්, අබ්දූර් රෙහෙමාන්, අසාද් ශාෆීක්, ජුනයිඞ් ඛාන්, මොහොමඞ් තල්හා, සයිඞ් අජ්මාල්, රහට් අලී, සෆ්රාෂ් අහ්මඞ්, වහබ් රියාස් සහ ශාන් මෂූඞ්


අදහස් (1)

සගයෝ මහේලට සරිලන තෑග්ගක් සොයති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.