Last Update  :  2024-05-19 17:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකාවට ලකුණු 660 ක දැවැන්ත ඉලක්කයක්

ශ්‍රී ලංකාවට ලකුණු 660 ක දැවැන්ත ඉලක්කයක්

Nisanka Sandeepani - 2018 දෙසැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටොම් ලේතම් (176) සහ හෙන්රි නිකොල්ස් (162) එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගූ ලකුණු 214 ක සම්බන්ධය නිසා ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රස්ට්චර්ච්හි හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 585 ක් ලබාගැනීමට නවසීලන්තය සමත් විය. 

තෙවැනි දිනය වු අද (28 වැනිදා) තරගය නතර කරන විට ජයග්‍රහණය සඳහා ලකුණු 660 ඉලක්කයක් හඹායමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 24 ක් ලබා නවසීලන්තයට වඩා තවත් ලකුණු 636 ක් පසුපසින් සිටියේය. දිනය නිමාවන විට නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 14 ක්ද, කුසල් මෙන්ඩිස් ලකුණු 6 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. 

ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි දිමුත් කරුණාරත්න (0) සහ ධනුෂ්ක ගුණතිලක (4) දෙවැනි ඉනිමේ මුල් ඕවර දෙක තුළදීම ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට ටේ‍රන්ට් බෝල්ට් සහ ටිම් සවුති සමත් වූ අතර ඔවුන් දෙදෙනාම දැවී ගියේ කඩුලු රකින ක්‍රීඩක බී.ජේ. වොට්ලිං අතට උඩ පන්දු දෙමිනි. 

දෙවැනි දිනය වු ඊයේ (27 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 231 ක් ලබා සිටි නවසීලන්ත කණ්ඩායම අද දිනයේදී තවත් ලකුණු 354 ක් එක්කර ගැනීමෙන් අනතුරුව සිය දෙවැනි ඉනිම අත්හිටුවමින් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය. 

නවසීලන්ත දෙවැනි ඉනිම නිමාවට පත්වන තෙක්ම කඩුල්ලේ රැදී සිටි හෙන්රි නිකලස් හතරේ පහර 16 ක් සමගින් නොදැවී ලකුණු 162 ක් රැස්කළ අතර සෙසු පිතිකරුවන් සමග සාර්ථක සම්බන්ධතා ගොඩනගමින් ක්‍රම ක්‍රමයෙන් නවසීලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමටද ඔහු සමත් විය. 

ඉතා ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කරමින් හයේ පහරක් සහ හතරේ පහර 17 ක් සමග ලකුණු 176 ක් ලබා සිටි ලේතම්, නවසීලන්ත කණ්ඩායමේ සිවුවැනි කඩුල්ල ලෙස දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අතට උඩ පන්දුවක් දෙමින් දැවී යෑමත් සමග තේ පානය සඳහා තරගය නතර කිරීමට විනිසුරුවෝ පියවර ගත්හ. 

තේ පානයෙන් අනතුරුව නිකොල්ස් සමග එක්වූ කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් (නොදැවී 71) පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 124 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් විය. පන්දු 45 කදී වාර්තා වූ ග්‍රෑන්ඞ්හෝම්ගේ වේගවත් අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 6 කින් සමන්විත විය. 

දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 40 ක් ලබා සිටි රොස් ටේලර් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකරගැනීමට ළහිරු කුමාර සමත් වූ අතර පිටියෙන් ඉවත්ව යන විට ඔහුගේ ඉනිමට හතරේ පහර 6 ක් අන්තර්ගත වී තිබිණ. 

-036 


අදහස් (0)

ශ්‍රී ලංකාවට ලකුණු 660 ක දැවැන්ත ඉලක්කයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.