Last Update  :  2024-05-15 11:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner රූට් - මෝගන් එංගලන්තයට ජය ගෙනෙති

රූට් - මෝගන් එංගලන්තයට ජය ගෙනෙති

Nisanka Sandeepani - 2018 ඔක් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජෝ රූට් (නොදැවී 90) සහ ඔයින් මෝගන්ගේ (නොදැවී 91) පිතිහරඹය හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (05 වැනිදා) පැවැති පළමු පුහුණු එක්දින තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 43 කින් ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.

එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය සඳහා ලකුණු 288 ක ඉලක්කයක් හඹායනවිට අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරගය මිනිත්තු 49 ක කාළයකට නතර කළේය. යළිත් ඇරඹී තරගයේ ඕවර 3 ක් අතහැරීමට විනිසුරුවන් තීරණය කළ අතර නැවතත් ජයග්‍රහණය සඳහා එංගලන්ත කණ්ඩායමට ඕවර 47 කදී ලකුණු 275 ක නව ඉලක්කයක් හිමිවිය. නැවත වරක් අයහපත් ආලෝක තත්වය හේතුවෙන් දෙවැනි වරටත් තරගය නතර කිරීමට සිදුවූ අතර ඒ වනවිට ඩක්වත් ලුවිස් න්‍යාය අනුව එංගලන්ත කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලබාගත යුතුව තිබුණේ ලකුණු 173 ක් පමණි.

තරගය අවසන් කරනවිට නොදැවී කඩුල්ලේ රැඳී සිටි ජෝ රූට් සහ ඔයින් මෝගන් අර්ධ ශතක ලබාගනිමින් තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 174 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනගමින් එංගලන්ත කණ්ඩායම ඉලක්කය කරා රැගෙන යමින් සිටියහ.

ජෝ රූට් පන්දු 92 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 90 ක් ද ඔයින් මෝගන් පන්දු 84 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 91 ක් රැස්කිරීමට සමත්වූහ.

වේගවත් ලකුණු රැස්කිරීමට නිරත වෙමින් සිටියදී කසුන් රාජිතගේ පන්දුවක් හමුවේ ලබාදුන් උඩපන්දුවක් ඉතා දක්ෂ ලෙස ඉසුරු උදාන තනි අතින් රැකගැනීමත් සමග ජේසන් රෝයීගේ ඉනිම ලකුණු 27 කට අවසන් විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 287 ක් රැස්කිරීමට සමත්විය.

නායක දිනේෂ් චන්දිමාල් සහ කමිඳු මෙන්ඩිස් අර්ධ ශතක ලබාගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම ලකුණු 250 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට අවශ්‍ය අඩිතාලම දමා දීමට සමත්වූහ. වෙනදාට වඩා ලකුණු ලබාගැනීමේ වේගය ඉහළ මට්ටමක රඳවාගත් දිනේෂ් චන්දිමාල් පන්දු 85 කදී ලකුණු 77 ක් රැස්කිරීමට සමත්විය. ජෝ රූට්ගේ පන්දුවකට ගැසූ වේගවත් පහරකින් ඉහළ නැගි පන්දුව හතරේ සීමාව ආසන්නයේදී ක්‍රිස් වෝක්ස් රැකගැනීමත් සමගින් චන්දිමාල්ගේ ඉනිම අවසන්වූ අතර හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සිය ඉනිමට එක්කර ගැනීමට ඔහු සමත්විය.

ජේෂ්ඨ ක්‍රීඩකයින් සමගින් එක්ව සිය ක්‍රිකට් ජීවිතයට අත්දැකීම් එක්කර ගන්නා කමිඳු මෙන්ඩිස් අලංකාර හතරේ පහර 5 ක් සමගින් පන්දු 72 කදී ලකුණු 61 ක් රැස්කිරීමට සමත්විය. අදිල් රෂීඞ්ගේ පන්දුවක් හමුවේ බෙන් ස්ටෝක්ස් අතට උඩපන්දුවක් දුන් කමිඳු මෙන්ඩිස්ග් ඉනිම අවසන් විය.

කුසල් මෙන්ඩිස් සමගින් එක්ව ලකුණු 53 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ දිනේෂ් චන්දිමාල් පස්වැනි කඩුල්ල සඳහා කමිඳු මෙන්ඩිස් සමගින් එක්ව ලකුණු 56 ක තවත් සම්බන්ධතාවයක් ගොඩනැගීය.

අවසන් ඕවර කිහිපයේ පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ඉසුරු උදාන වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 26 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 40 ක් රැස්කිරීමට සමත් විය. හත්වැනි කඩුල්ල සඳහා පන්දු 43 කදී ලකුණු 60 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට කමිඳු මෙන්ඩිස් සහ ඉසුරු උදාන සමත්වූහ.

ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න පළමු කඩුල්ල සඳහා ලකුණු 53 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ අතර දෙදෙනාම මොයින් අලීගේ පන්දු හමුවේ දැවී ගියහ.
මොයින් අලී කඩුලු 3 ක් ද මාර්ක් වුඞ් සහ බෙන් ස්ටෝක්ස් කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් තරග තහනමකට සහ ආබාධයකට ලක්වීම හේතුවෙන් පසුගිය තරගාවලි කිහිපයකට සහභාගී නොවූ අතර තරග අත්දැකීම් ලබාගැනීම සඳහා අද පුහුණු තරගයට සහභාගි විය.


අදහස් (0)

රූට් - මෝගන් එංගලන්තයට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.