Last Update  :  2024-05-14 18:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner බ්‍රෝඩ්, ජෙනිංග්ස් දෙන්නාම හළමු - පීටර්සන්

බ්‍රෝඩ්, ජෙනිංග්ස් දෙන්නාම හළමු - පීටර්සන්

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන මාසයේ ආරම්භ වීමට නියමිත එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරයෙන් ප්‍රවීන තුන් ඉරියව් ක්‍රීඩක ස්ටුවර්ට් බ්‍රෝඞ් සහ ආරම්භක පිතිකරු කීටන් ජෙනිංග්ස් ඉවත් කර දැමිය යුතු යයි එංගලන්ත පිලේ හිටපු නායකයකු මෙන්ම විශිෂ්ටතම පිතිකරුවකු වන කෙවින් පීටර්සන් කියයි.

සිය මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් ලබාගත් නමුත් කීටන් ජෙනිංග්ස්ගේ දස්කම් මේ වනවිට ඉතාමත් පහත බැස තිබේ. මේ දක්වා ටෙස්ට් තරග 12 ක් ක්‍රීඩා කර ඇතත් කීටන් ජෙනිංග්ස් තවමත් ලබාගෙන ඇත්තේ ලකුණු 486 ක් පමණි. ටෙස්ට් පිලේ ආරම්භක පිතිකරු ඇලිස්ටෙයාර් කුක් විශ්‍රාම ගැනීමත් සමගම එංගලන්ත පිලේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා කවුරුන්ද යන්න එංගලන්ත තේරීම් කමිටුවට තරමක හිසරදයක් වී තිබේ.

මෙම තත්ත්වය හමුවේ ජෙනිංග්ගේ අසාර්ථකත්වය වඩාත් කැපී පෙනේ.  

එංගලන්ත ක්‍රිකට් විශාරදයන්ගේ මතය වී ඇත්තේ සරේ ප්‍රාන්ත පිලට ශූරතාව දිනාගැනීමට මහෝපකාරී වූ රෝරි බර්න්ස් විශ්‍රාම ගිය ආරම්භක පිතිකරුවා වන ඇලිස්ටෙයාර් කුක්ගේ ස්ථානයට ආදේශ කළ යුතු බවයි. ඒහෙත් ප්‍රශ්නය වී ඇත්තේ රෝරි බර්න්ස් සහ කීටන් ජෙනිංග්ස් වැනි අත්දැකීම් අඩු පිතිකරුවන් දෙදෙනකුගෙන් ශ්‍රී ලංකාවේදී ඉනිම ආරම්භ කළ යුතුද යන්නයි.

එංගලන්ත පිලේ සහාය පුහුණුකරුවා වන පෝල් ෆාබ්‍රේස් මහතාගේ සහයෝගය උපරිම වශයෙන් ලබන ජෙනිංග්ස්ට ශ්‍රී ලංකා සංචාරයේදී අවස්ථාවක් හිමිවීමට ඉඩ තිබේ. එහෙත් මේ අදහසට පීටර්සන් නම් කැමති නැත.

“ජෙනිංග්ස් කියන්නේ පන්දුවට පහර දෙන්න පුළුවන් කෙනෙක් නෙමේ. එහෙම කිව්වාට මට සමාවෙන්න”
“ඔවුන්ට (එංගලන්ත පිලට) වෙනත් කාවහරි හොයාගන්නම වෙනවා. කුක් නැතිවීම අති විශාල පාඩුවක්. එයාත් පසුගිය මාස කිහිපයේදී වැනි වැනී හිටියා වුණත් සුරංගනා කතාවක වගේ අවසානයක් සටහන් කළා. ඒක එයාට නම් ඉතාම හොඳයි. ඒත් එයා වගේ කෙනෙක්ගේ අඩුව පුරවන එකනම් ලේසි දෙයක් නොවේ” යයි කෙවින් පීටර්සන් ටෝක් ස්පෝට්ස් වෙත පවසා තිබිණ.

ඉන්දියාවේදී අයි. පී. එල්. තරග වලට මෙන්ම ඕස්ට්‍රේලියාවේදී බිග් බෑෂ් තරග වලට සහභාගි වී තිබුණද ලෝකය පුරා තැන තැන පැවැත්වෙන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් කෙවින් පීටර්සන්ට ඇත්තේ තරමක විස්සෝපයකි. දකුණු අප්‍රිකාවේදී උපත ලද නමුත් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් පිටියට පිවිසි කෙවින් පීටර්සන් තවමත් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් කතා කරයි.

“අපේ ප්‍රාන්ත තරගාවලියෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් නිර්මාණය කරන බවක් මට නම් පේන්න නෑ, මේක හුඟාක් ගැඹුරට ගිය ප්‍රශ්නයක්. ලෝකයේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයන් දැන් ප්‍රාන්ත ක්‍රිකට් තරග වලට සහභාගි වන්නේ නෑ. ඔවුන් ගිහිල්ලා විස්සයි-20 ක්‍රිකට් ගහලා ඒගොල්ලන්ගේ ගතමනාව හොයා ගන්නවා”

“ඇත්තම කියනවා නම් අපේ ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය ඒ තරම් හොඳ මට්ටමක නෑ. ප්‍රාන්ත තරග වල පිතිකරුවකුගේ තත්ත්වය දුර්වලයි. මේ තත්ත්වය පිතිකරුවෙක් හොයාගන්න ගියාම විශාල ප්‍රශ්නයක් වෙනවා” යයිද පීටර්සන් පැවසීය.

එංගලන්ත නායක ජෝ රූට් ඉන්දියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී අංක 4 සිට 3 දක්වා ගියේ අකමැත්තෙනි. එහෙත් ඉන්දියාවට එරෙහිව පැවැති අවසන් ටෙස්ට් තරග දෙකේදීම රූට් සිය සුපුරුදු ස්ථානය කරා ගියේ මුයින් අලී අංක 3 ස්ථානයට කැඳවමිනි.

ස්ටුවර්ට් බ්‍රෝඞ් සම්බන්ධයෙන් පීටර්සන්ට සාධාරණ තර්කයක් තිබේ. ආසියානු කලාපයේදී ක්‍රීඩා කළ ටෙස්ට් තරග 10 කින් ස්ටුවර්ට් බ්‍රෝඞ් දවාගෙන ඇත්තේ කඩුලු 20 ක් පමණි.

“මා නම් පසුගිය ශීත සෘතුවේදීම ඔහුව කණ්ඩායමෙන් හළලා දානවා. එංගලන්තයෙන් පිටතදී ඔහු ඒ තරම් හොඳින් දස්කම් දක්වන්නේ නෑ” යයි පීටර්සන් සිය පැරණි කණ්ඩායම් සගයා සම්බන්ධයෙන් පැවසීය.
එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය ඔක්තෝබර් මාසයේදී ආරම්භ වේ.

 


අදහස් (0)

බ්‍රෝඩ්, ජෙනිංග්ස් දෙන්නාම හළමු - පීටර්සන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.