Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner බංග්ලාදේශයට හොඳ අභියෝගයක්

බංග්ලාදේශයට හොඳ අභියෝගයක්

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


 

ආසියානු ක්‍රිකට් සමුළුව මෙහෙයවන 14 වැනි ‘යුනිමොනි’ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය (2018) ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට (15) දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ. මෙම තරගය ඩුබායි වේලාවෙන් පස්වරු 3.30 ට හෙවත් ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.00 ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් අද (14) පස්වරුවේ මාධ්‍යයට අදහස් දක්වමින් පැවසුවේ බංග්ලාදේශ තරගය හොඳ අභියෝගයක් බවයි.

එහිදී මැතිව්ස් ඩුබායි නුවර දැන් පවතින කාලගුණ තත්ත්වය පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.  

“ඩුබායිවල සෑහෙන රස්නයක් තියෙනවා. නමුත් සෑම කණ්ඩායමකටම ඒක පොදුයි. ඒ නිසා අපිට ඒ ගැන කළබල වෙන්න බෑ. අපි බලන්න ඕනෙ හොඳට ක්‍රීඩා කරන්න. පසුගිය දින දෙකේ හොඳින් පුහුණුවීම් කළා”
මෙම දැඩි රස්නය සහිත කාලගුණය හේතුවෙන් මෙම තරගාවලියේ සියලු තරග පස්වරු 3.30 දක්වා පැය එකහමාරක කාලයක් පසු පසට දමා තිබේ.

හෙට තරගය පිළිබඳව සහ කණ්ඩායම පිළිබඳව මැතිව්ස් මෙසේ අදහස් දැක්වීය.

“බංග්ලාදේශ කණ්ඩායම හොඳ අභියෝගයක්. බංග්ලාදේශ පිල පසුගිය වසර එකාහමාර දෙක තුළ හොඳට ක්‍රීඩා කළා. අපි කණ්ඩායමක් ලෙස හොඳට ක්‍රීඩා කළොත් අනිවාර්යෙන්ම ජයගන්න පුඵවන්”
“දිනේෂ් චන්දිමාල් පළමුවෙන්ම අහිමිවුණා. ඉන් පසුව ධනුෂ්ක ගුණතිලකට අවාසනාවකට කොන්දේ ආබාධයක් හේතුවෙන් යන්න වුණා. ෂෙහාන් ජයසූරිය එතනට ආවා”

“අපිට ආරම්භක පිතිකරුවො හතර දෙනෙක් විතර ඉන්නවා. උපුල් තරංග, කුසල් මෙන්ඩිස් සහ කුසල් ජනිත් ඒ අතර ඉන්නවා. දැන් තමයි තණතීරුව බලන්න අවස්ථාව දුන්නේ. රාත්‍රී පැවැත්වෙන සාකච්ඡාවේදී තේරීම් කමිටුවත් සමඟ කථා කරලා ආරම්භක පිතිකරුවො කවුද කියලා තීරණයක් ගන්නවා’‘

“ලසිත් මාලිංග කණ්ඩායමේ ඉන්නවා. නමුත් පිතිකරුවන් වගේම පන්දු යවන්න පිළිබඳවත් තවම තීරණයක් අරගෙන නෑ”

“කණ්ඩායම පසුගිය තරගාවලි ගත්තම ලොකුවට වෙනස් වෙන්නේ නෑ. තණතීරුවේ ස්භාවය අනුව තැනක් හෝ දෙකක් වෙනස් වෙයි. කණ්ඩායම පිළිබඳව තීරණ ගැනීමේදී තණතීරුව මෙම තරගයේදී තීරණාත්මක වෙයි කියලා හිතෙනවා”

“මෙම තණතීරුව හොඳ වගේ පේනවා. ටිකක් මන්දගාමීත් වගේ. රාත්‍රී පින්න තත්ත්වයක් ඇති වෙනවා කියනවා. නමුත් අපි පින්න තත්ත්වයක් දැක්කෙ නෑ” යැයි මැතිව්ස් වැඩි දුරටත් පැවසීය.

දිනේෂ් චන්දිමාල්ගේ ස්ථානයට සංචිතයට පැමිණි නිරෝෂන් දික්වැල්ල ද ආරම්භක පිතිකරුවකු වන අතර ඇතැම් විට දික්වැල්ල ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කිරීමට ඉඩ තිබේ.

  බංග්ලාදේශ පිලේ නායක මෂ්රාෆි මොර්ටාෂා මාධ්‍ය හමුවේදී පැවසුවේ මෙම තරගාවලිය තවත් එක තරගාවලියක් ලෙස සළකා ඉදිරියට යෑම සැළසුම බවයි.

“මෙම තරගාවලිය තවත් තරගාවලියක් ලෙස තමයි සළකන්නේ. ශ්‍රී ලංකාවට එරෙහිව තරගය පිළිබඳව මේ අවස්ථාව වන විට අවධානය යොමු කර තිබෙනවා” යැයි මෙර්ටාෂා වැඩි දුරටත් පැවසීය.  

තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීමට අද පස්වරුවේ කණ්ඩායම් හයේ නායකයන්ගේ සහභාගිත්වයෙන් ඩුබායි ක්‍රීඩාංගණයේදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විණි.

එහිදී ඉන්දීය පිලේ නායක රොහිත් ශර්මා පැවසුවේ මෙම තරගාවලිය ඉන්දියාවෙන් පිටත තරගාවලියක් වීම නිසා 2019 ලෝක කුසලාන තරගාවලියට සූදානම් වීමේදී මෙය ඉතාමත්ම හොඳ අවස්ථාවක් බවයි.

“පාකිස්තානයට එරෙහිව තරගය කොහොමත් උණුසුම් තමයි. අපි ඒ ගැටුම බලාපොරොත්තුවෙන් ඉන්නේ. එය වඩාත් තරගකාරි එකක් වෙයි. නමුත් මෙම තරගාවලියේ සියලුම තරග වැඳගත්” යැයි රෝහිත් ශර්මා වැඩි දුරටත් පැවසීය.

පාකිස්තානු පිලේ නායක සෆ්රාස් අහ්මඞ් එහිදී පැවසුවේ ලෝක කුසලාන තරගාවලියට සංයුතිය නිර්මාණය කරගැනීම පිළිබඳව සියලුම කණ්ඩායම්වලට අභියෝගයක් ඇති බවත් එසේ වුවද ඒ පිළිබඳව කථා කිරීමට කල්වැඩි බවට තමන් සිතන බවයි”

“සෑම කණ්ඩායමකටම දක්‍ෂතා, දුර්වලතා හදුනාගැනීමට මෙය හොඳ අවස්ථාවක් යැවි සෆ්රාස් වැඩි දුරටත් පැවසීය.  

එම මාධ්‍ය හමුවට ඇෆ්ගනිස්තානු පිලේ නායක අස්ගර් ඇෆ්ගන් සහ හොංකොං පිලේ නායක අංෂුමාට් රාට් ද සහභාගි වූහ.


ශ්‍රී ලංකා සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, උපුල් තරංග, නිරෝෂන් දික්වැල්ල, ෂෙහාන් ජයසූරිය, තිසර පෙරේරා, දසුන් ශානක, ධනංජය ද සිල්වා, ඩිල්රුවන් පෙරේරා, අමිල අපෝන්සු, කසුන් රාජිත, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර සහ ලසිත් මාලිංග


බංග්ලාදේශ සංචිතය:
මෂ්රාෆි මොර්ටාෂා (නායක), ශකීබ් අල් හසන්, අබු හීඩර්, අරිෆුල් හක්, ලින්ටන් දාස්, මහුමුදුල්ලා රියාඞ්, මෙහෙදි හසන්, මොහොමඞ් මිතුන්, මොසදික් හසන්, මුෂ්ෆිකුර් රහීම්, මුස්ටෆිෂුර් රහීම්, නෂ්මුල් හොසේන් ශන්ටො, නෂ්මුල් ස්ලාම්, රුබෙල් හුසේන්, තමීම් ඉක්බාල්

 


අදහස් (1)

බංග්ලාදේශයට හොඳ අභියෝගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.