Last Update  :  2024-05-19 17:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner නවසීලන්තයට ලකුණු 45 ක ජයක්

නවසීලන්තයට ලකුණු 45 ක ජයක්

Nisanka Sandeepani - 2019 ජන මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම ටවුරන්ගන්හිදී පැවැති පළමු එක්දින තරගය ලකුණු 45 කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම අද (3 වැනිදා) සමත්විය. ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද නවසීලන්ත කණ්ඩායම සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 372 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 49 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 326 ක් පමණි. නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද ලකුණු 300 සීමාව පසුකළ පළමු අවස්ථාව ලෙසද අද තරගය වාර්තා පොත් අතරට එක්වීය. මින් පෙර 1998 වසරේ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී කඩුලු 4 ක් දැවී රැස්කළ ලකුණු 293 නවසීලන්ත කණ්ඩායමට එරෙහිව රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ලෙස පැවතුණි.

කුසල් ජනිත් සිය සිවුවැනි එක්දින ශතකය ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වුවද ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට අපොහොසත් විය. පන්දු 41 කදී සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ කුසල් ජනිත්ට ශතකය සඳහා වැයවූයේ පන්දු 82 ක් පමණි.
මුල්පෙළ පිතිකරුවන් තිදෙනා සාරථක පිතිහරඹයක නිරතවුවද මැදපෙළ සහ පසුපෙළ පිතිකරුවන්ගේ සහයෝගය නිසිලෙස නොලැබීම තරගයේ පරාජයේ තීරණාත්මක සාධකය විය.

සාර්ථක ආරම්භයක් ලබාදෙමින් ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 106 කදී ලකුණු 119 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ අතර ධනුෂ්ක ගුණතිලකගේ දැවීයාමත් සමගින් එම සම්බන්ධතාවයට තිත තැබුණි.

ජේම්ස් නිශාම්ගේ පන්දුවටකට ෆ්ලික් කිරීමට යාමේදී පිත්තේ දාරයේ වැදුණු පන්දුව කඩුල්ලු රකින්නා විසින් රැකගැනීමත් සමගින් ධනුෂ්ක ගුණතිලකගේ ඉනිම ලකුණු 43 කට අවසන්විය. පන්දු 62 කට මුහුණදුන් ධනුෂ්කගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය.

ධනුෂ්ක ගුණතිලකගේ දැවීයාමේ පසුව පන්දු 9 ක් තුල නිරෝෂන් දික්වැල්ල දවාගැනීමට ජේම්ස් නිශාම් සමත්විය. කඩුල්ලෙන් ඉවතට ඇදී යන පන්දුවකට පහරක් ගැසීමට යාමේදී පන්දුවට කඩුල්ල වෙත ඒම හේතුවෙන් දික්වැල්ලට පිටියෙන් ඉවත්වීමට සිදුවිය. පන්දු 50 කදී වේගවත් ලකුණු 76 ක් රැස්කළ දික්වැල්ලගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 8 කින් අලංකාර විය.

කුසල් මෙන්ඩිස්ට (18) සහ දිනේෂ් චන්දිමාල්ට (10) සාර්ථක වීමට අවස්ථාවක් ලබානොදුන් ඉෂ් සෝධී සහ ජේම්ස් නිශාම් ඔවුන්ගේ කඩුලු දවාගැනීමට සමත්වූහ.

පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ ජේම්ස් නිශාම් මුල් පෙළ පිතිකරුවන් තිදෙනෙකු දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිම අඩපණ කිරීමට සමත්විය. ඉන් නිසි ප්‍රයෝජනගත් ඉෂ් සෝධී, ටේ‍රන්ට් බෝල්ට් සහ ලොකී ෆර්ගියුෂන් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වුහ. මැට් හෙන්රි කඩුල්ලක් දවාගනිමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණයට දායක විය.

වසරකට ආසන්න කාළයකින් පසුව පිටියට පිවිසි මාටින් ගප්ටිල්ලේ (138) විශිෂ්ට පිතිහරඹය හමුවේ නවසීලන්ත කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 371 ක් රැස්කිරීමට සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට සිය නායකයා ගත් තීරණය හරි යැයි සනාථ කරමින් ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් 14 වැනි එක්දින ශතකය ලබාගැනීමට සමත්විය. පන්දු 54 කදී සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ ගප්ටිල්ට ශතකය සඳහා වැයවූයේ පන්දු 111 ක් පමණි.

තිසර පෙරේරාගේ පන්දුවක් හමුවේ ලක්ෂාන් සඳකැන්ට උඩපන්දුවක් දෙමින් මාටින් ගප්ටිල් දැවීයන විට ලකුණු 138 ක් රැස්කර සිටියේය. පන්දු 139 කට මුහුණදුන් ගප්ටිල්ගේ ඉනිම හයේ පහර 5 කින් සහ හතරේ පහර 11 කින් අලංකාර විය.

කේන් විලියම් සමගින් එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 160 කදී ලකුණු 163 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ මාටින් ගප්ටිල් තෙවැනි කඩුල්ල සඳහා රොස් ටේලර් සමගින් එක්වද පන්දු 68 කදී තවත් ලකුණු 88 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය.

වේගවත් ලකුණු රැස්කිරීමක නිරත වෙමින් අර්ධ ශතක ලබාගත් කේන් විලියම්සන් සහ රොස් ටේලර් නවසීලන්ත කණ්ඩායම ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත්වූහ. කේන් විලියම්සන් පන්දු 74 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 76 ක් රැස්කළ අතර රොස් ටේලර් පන්දු 37 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 54 ක් රැස්කිරීමට සමත්වූහ.

ප්‍රවේගකාරී පිතිහරඹයක නිරතවෙමින් තිසර පෙරේරා යවන ලද 49 වැනි ඕවරයේදී (6666(නි2)61) ලකුණු 34 ක් ලබාගනිමින් ජාත්‍යන්තර එක්දින තරගයක ඕවරයකදී ලබාගත් තෙවැනි ඉහළ ලකුණු සංඛ්‍යාව සම කිරීමට ජේම්ස් නිශාම් සමත්විය. ඉනිම අවසන් වනවිට නොදැවී කඩුල්ලේ රැඳී සිටි නීශාම් පන්දු 13 කදී ලකුණු 47 ක් රැස්කර සිටි අතර ඊට හයේ පහර 6 ක් ඇතුළත් විය.

ඕවර 40 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 245 ක් රැස්කරගෙන සිටි නවසීලන්ත පිතිකරුවෝ අවසන් ඕවර 10 තුලදී ලකුණු 126 ක් රැස්කිරීමට සමත්වූහ. ඒ අනුව මීට පෙර 2015 වසරේදී කඩුලු 5 කට ලකුණු 360 ක් රැස්කරමින් නවසීලන්ත කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව තබා තිබූ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අලුත් කිරීමට සමත්විය.

නවසීලන්ත පිතිකරුවන් ලබාගත් ලකුණු 371 කට හයේ පහර 14 ක් සහ හතරේ පහර 27 ක් ඇතුළත් විය. ඉන් හයේ පහර 5 ක් තිසර පෙරේරාට එරෙහිව ලබාගත් අතර නුවන් ප්‍රදීප්ට සහ ලක්ෂාන් සඳකැන්ට එරෙහිව හයේ පහර 3 බැගින් ලබාගැනීමට පිතිකරුවෝ සමත්වූහ. සීකුගේ ප්‍රසන්න හයේ පහර 2 ක් සහ ලසිත් මාලිංග එක් හයේ පහරක් ලබාදුන්නේය.

ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග නවසීලන්ත පිතිකරුවන් මෙල්ල කිරීමට පන්දු යවන්නන් 7 දෙනෙකු යොදාගත් අතර ඊට වේගපන්දු යවන්නන් සිවුදෙනෙකු සහ දඟපන්දු යවන්නන් තිදෙනෙකු අයත්වූහ. නුවන් ප්‍රදීප්, ලසිත් මාලිංග සහ තිසර පෙරේරා පිළිවෙලින් ලකුණු 72, 78 සහ 80 බැගින් ලබාදුන් අතර කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ. සීකුගේ ප්‍රසන්න සහ ලක්ෂාන් සඳකැන් ඕවර 10 බැගින් යවමින් ලකුණු 60 සහ 64 බැගින් ලබාදුන් අතර කඩුල්ලක් දවාගැනීමට අපොහොසත්වූහ.

 

aaaa 

BBBB

KAKA

ඡායාරූප - ඒ.එෆ්.පී ඇසුරෙනි 


අදහස් (0)

නවසීලන්තයට ලකුණු 45 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.