Last Update  :  2024-05-19 17:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner නවසීලන්තය ලකුණු 305 ක් ඉදිරියෙන්

නවසීලන්තය ලකුණු 305 ක් ඉදිරියෙන්

Nisanka Sandeepani - 2018 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර ක්‍රස්ට්චර්ච්හි හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය දෙවැනි දිනය (27 වැනිදා) සඳහා තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 231 ක් ලබා සිටියේය. 

දෙවැනි දිනය අවසන් වන විට නවසීලන්ත කණ්ඩායම කඩුලු 8 ක් අතැතිව ශ්‍රී ලංකාවට වඩා තවත් ලකුණු 305 ක් ඉදිරියෙන් සිටි අතර ඒ වන විට ටොම් ලේතම් හතරේ පහර 8 ක් සමග ලකුණු 74 ක්ද, රොස් ටේලර් හතරේ පහර 5 ක් සමග ලකුණු 25 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. දිනය නිමාවන විට ඔවුන් දෙදෙනා එක්ව නවසීලන්ත කණ්ඩායමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනාගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 42 කි. 

ජීත් රාවල් (74) සමග එක්ව නවසීලන්ත කණ්ඩායමෙ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 121 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ලේතම් සමත් විය. ඩිල්රුවන් පෙරේරාගේ පන්දුවක් හමුවේ කුසල් මෙන්ඩිස් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට රාවල්ගේ අර්ධ ශතකය හතරේ පහර 8 කින් සමන්විත වී තිබිණ.

නායක කේන් විලියම්සන් හතරේ පහර 5 ක් සමග ලකුණු 48 ක් ලබා සිටියදී අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියේ ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ කුසල් මෙන්ඩිස් අතට උඩ පන්දුවක් දෙමිනි. ලේතම් සමග එක්ව නවසීලන්ත ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 68 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද විලියම්සන් සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 104 කට සීමා කිරීමට ටේ‍රන්ට් බෝල්ට් ප්‍රමුඛ නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. පළමු දිනය වූ ඊයේ (26 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 4 දැවී ලකුණු 88 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට අද දිනයේදී සිය දෙවැනි ඉනිමට අලුතින් එක්කරගත හැකි වූයේ තවත් ලකුණු 16 ක් පමණි. 

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ටේ‍රන්ට් බෝල්ට්, ලකුණු 16 ක් තුළ අවසන් කඩුලු 6 ම බිඳහෙළමින් ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුණු කර දැමුවේය. නිලකුණු ඕවර 8 ක්ද සමගින් සිය ඕවර 15 ලකුණු 30 කට සීමා කිරීමටද බෝල්ට් සමත් විය. 

අද දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 21 ක් ලබා සිටි රොෂේන් සිල්වා දැවී ගියේ බෝල්ට්ගේ පන්දුවක් හමුවේ ස්ලිප්හි පන්දු රකිමින් සිටි ටිම් සවුති අතට උඩ පන්දුවක් දෙමිනි. ඉන් අනතුරුව පිටියට පිවිසි නිරෝෂන් දික්වැල්ලටද (4) වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාවක් නොලැබුණ අතර ඔහු දැවී ගියේද රොෂේන් දැවී ගිය ආකාරයෙන්මය. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් පිතිකරුවන් සිවුදෙනාම ආපයින්ම ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවූ බෝල්ට්, ලකුණු ලබාගැනීමට ආරම්භ කිරීමටත් පෙර ඔවුන් සියලු දෙනාම කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගැනීමට සමත් විය. 

සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් ඇන්ජලෝ මැතිව්ස්, ශ්‍රී ලංකා ඉනිම නිමාවන විට හතරේ පහර 3 ක් සමගින් ලකුණු 33 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියේය. 

 

- 036

 


අදහස් (0)

නවසීලන්තය ලකුණු 305 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.