Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ජදේජාගෙන් කණ්ඩායමට දිනයක විවේකයක්

ජදේජාගෙන් කණ්ඩායමට දිනයක විවේකයක්

Nisanka Sandeepani - 2017 අගෝ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස්ගේ ශතක නිසා දෙවැනි ඉනිමේදී හිස් එසවීමට සමත් වූ නමුත් පළමු ඉනිමේදී ලකුණු 183 කට දැවී යාමෙන් ශ්‍රී ලංකා පිල කරගත් හානිය වඩාත් විනාශකාරී විය. එම තත්ත්වයෙන් උපරිම ප්‍රයෝජන ගත් ඉන්දියානුවෝ කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ සිවුවැනි දිනයේදීම ඉනිමක සහ ලකුණු 53 ක දැවැන්ත ජයක් අත්කරගත්හ.

පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවකදී, දිවා ආහාරයෙන් පසුව ඕවර 10 ක් යවමින් ලකුණු 39 කට කඩුලු 4 ක් බිඳ හෙළුෑ රවීන්ද්‍ර ජදේජා තම කණ්ඩායමට සම්පූර්ණ දිනයක විවේකයක් ලබා දෙමින් සිවුවැනි දිනයේ තේ පානය වන විට ඉන්දියාව ජයටැඹ කරා කැඳවාගෙන ගියේය. ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා දෙවැනි ඉනිමේදී ලකුණු 439 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණ දී සිටියද අද තේ පානය වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ගමන ලකුණු 386 කින් නතර කිරීමට ඉන්දීය පන්දු යවන්නන්ට හැකිවිය. ජදේජා සිය පන්දු යැවීම අවසන් කළේ ලකුණු 152 කට කඩුලු 5 ක් දවාගනිමිනි.

මෙම ජයත් සමගින් තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය, කල්වේලා ඇතිවම, 2-0 ක් ලෙසින් ජයගැනීමටත් සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් විය. මේ වන විට ලෝකයේ අංක 1 හිමි ටෙස්ට් කණ්ඩායම බවට පත්ව සිටින ඉන්දීය පිල විරාට් කෝලිගේ නායකත්වය යටතේ පිට පිටම ලබාගත් 8 වැනි ටෙස්ට් තරගාවලි ජය මෙයයි. එහි පළමුවැන්න වූයේ වසර 2015 දී ශ්‍රී ලංකාවේදී ලබාගත් 2-1 ක තරගාවලි ජයග්‍රහණයයි.

පෙරවරුවේදී දිමුත් කරුණාරත්න සහ ඇන්ජලෝ මැතිව්ස් දෙදෙනා කඩුලු රැකගත් හෙයින් දිවා ආහාරය සඳහා ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 302 ක් ලබාසිටියේය. ඉන්දියානුවන් විසින් පටවන ලද ලකුණු 439 ක පීඩනයකට යටවී තරග කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ඒ වන විටත් සිය ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 137 ක් පසුපසින් සිටියද පිටියේ රැඳී සිටි පිතිකරුන් දෙදෙනා සාර්ථක වූයේ නම් ඉන්දියානුවන්ට තරගයක් දිය හැකි වාතාවරණයක් තිබිණ.

දිවා ආහාරයෙන් විනාඩි 18 කට පසුව දිමුත් කරුණාරත්නගේ දැවීයාමෙන් පසුව පැය එකහමාරකදී සියල්ල නිමා විය. දිමුත් දැවී යාමට පෙර කඩුල 4 කට ලකුණු 310 ක් ව තිබූ ලකුණු පුවරුව පැය එකහමාරක් ඇතුළත සියලු දෙනා දැව 386 ක් ලෙසින් දිස්විය. එහිදී ශ්‍රී ලංකා පිලට බරපතළම හානිය කළ රවීන්ද්‍ර ජදේජා විසින් පිට පිටම යවන ලද ඕවර තුනකදී දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස් සහ ඩිල්රුවන් පෙරේරා යන තිදෙනාම දැවී ගියහ.

ධනංජය ද සිල්වාට ලැබුණේ ඇඟ හිරිවැටෙන තීරණයකි. ජදේජාගේ පන්දුවක් ධනංජයගේ පිත්තේ වැදී ස්ලිප්හි සිටි අජින්ක්‍යා රහනේගේ දෑත් අතර සැඟවී ගියේය. ඊට පෙර එය බිම වැදුණු බව රූපවාහිනී පුනරූපන වලින් පැහැදිළිව දැකගත හැකිවූවත්, පිටියේ විනිසුරු ඔක්සන්ෆර්ඞ් මහතා සමග එකඟ වූ තුන්වැනි විනිසුරු රිචඞ් ඉලිංවර්ත් මහතා ධනංජයගේ අවාසියට සිය තීන්දුව ප්‍රකාශ කළේය.

තරගයේ තුන්වැනි දිනය වූ සෙනසුරාදා ක්‍රීඩාව නතර කරන විට නොදැවී ලකුණු 92 ක් ලබා සිටි දිමුත් කරුණාරත්න අද පෙරවරුවේදී රවිචන්ද්‍රන් අශ්වින්ට ගැසූ හතරේ පහරකින් හයවැනි ටෙස්ට් ශතකය සම්පූර්ණ කළේය. දෙවැනි ඉනිම වලදී ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙන පිතිකරුවකු ලෙසින් නමක් දිනා සිටින දිමුත් කරුණාරත්න ඔහුගේ අවසන් ටෙස්ට් තරග 10 දී දෙවැනි ඉනිම වලදී ලබාගත් ලකුණු සටහන් වන්නේ 110, 88, 43, 6, 50, 32, 126, 49, 97 සහ 141 ක් ලෙසිනි. පැය හයකට වැඩි කාලයක් පිටියේ රැඳුණු දිමුත් කරුණාරත්න මෙම ඉනිම පුරාම මුහුණ දුන් පන්දු 307 න් 16 ක් හතරේ සීමාව පසුකර ගොස් තිබිණ.

මුරකරු පිතිකරු මාලින්ද පුෂ්පකුමාර අද පෙරවරුවේදී ලකුණු 16 කට දැවී යාමෙන් පසුව පිටියට පිවිසි නායක දිනේෂ් චන්දිමාල්ට පිටියේ සිටිය හැකිවූයේ විනාඩි 6 ක් පමණි. දෙවැනි ඉනිමේදීත් රවීන්ද්‍ර ජදේජාට ගොදුරු වූ චන්දිමාල්ගේ උඩපන්දුව ස්ලිප්හි සිටි අජින්ක්‍යා රහනේ විසින් රැකගන්නා ලදි. එහෙත් දිමුත් කරුණාරත්නට එක්වූ මැතිව්ස් දිවා ආහාරය දක්වා කඩුලු රැකගත්හ.

ඉන්දීය පිල වෙනුවෙන් ජදේජා පිත්තෙන් ලබාගත් ලකුණු 70 ත් සැලකිල්ලට ගත් තීරකවරු කිසිම පැකිළීමකින් තොරව තරගයේ වීරයා සම්මානය ඔහුට ප්‍රදානය කළහ.

 

ශ්‍රී ලංකා - ඉන්දීය දෙවන ටෙස්ට් තරගයේ විශේෂ අවස්ථා

ඡායාරූප - ඒ.එෆ්.පී අනුග්‍රහයෙනි


අදහස් (0)

ජදේජාගෙන් කණ්ඩායමට දිනයක විවේකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.