Last Update  :  2024-05-19 20:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner චන්දිමාල්ගේ ස්ථානය අවිනිශ්චිත තත්ත්වයක

චන්දිමාල්ගේ ස්ථානය අවිනිශ්චිත තත්ත්වයක

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තයට එරෙහිව තවුරංගාහි ‘බේ ඕවල්’ ක්‍රීඩාංගණයේදී හෙට (3 වැනිදා) පැවැත්වෙන පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල්ගේ ස්ථානය අවිනිශ්චිත තත්වයක පවතින බව වාර්තා වේ. ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තය බලා පිටත්ව යද්දී ශ්‍රී ලංකා පිලේ නායකයා වූ නමුත් ටෙස්ට් තරගාවලිය අතරමැදදී පත්කරන ලද නව තේරීම් කමිටවක් විසින් එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් චන්දිමාල් ඉවත් කර එහි නායකත්වය ලසිත් මාලිංගට පවරන ලදි.

විවිධ ආබාධ සහ තරග තහනම් නිසා ගෙවීගිය 2018 වසරේදී චන්දිමාල්ට සහභාගි විය හැකි වූයේ එක්දින තරග 10 කට පමණි. එහිදී චන්දිමාල් අර්ධ ශතකයක්ද සමගින් ඉනිම 8 ක් කදී ලකුණු 298 ක් රැස්කරගෙන ඇත්තේ ලකුණු 42.57 ක සාමාන්‍යයක් රැඳවාගනිමිනි. මෙම කාලය තුළ චන්දිමාල්ගේ ප්‍රහාරාත්මක වේගය හෙවත් පන්දු 100 කදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 76.02 කි.

අවසන් වරට එංගලන්තයට එරෙහිව පැවැති තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ චන්දිමාල් එහිදී පිතිකරුවකු ලෙස එතරම් සාර්ථක නොවීය. එම තරගාවලියේ පළමු තරගය වැස්සට සේදී ගිය අතර සෙසු තරග හතරේදී අර්ධ ශතකයක්ද සමගින් ඔහුට රැස්කරගත හැකි වූයේ ලකුණු 153 ක් පමණි.

ලසිත් මාලිංග එක්දින කණ්ඩායමේ නායකත්වයට පත්වීමත්, කුසල් පෙරේරා, අසේල ගුණරත්න සහ සීක්කුගේ ප්‍රසන්න යන ක්‍රීඩකයන් නැවත කණ්ඩායමට එක්ව සිටීමත් කණ්ඩායමේ අවසන් සංයුතිය සකසා ගැනීමේදී විශාල බලපෑමක් කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.

“අපිට නැවත ගොඩනැඟෙන්න වෙලාවක් නෑ. මේ වසරේ තමයි ලෝක කුසලාන තරගාවලිය තියෙන්නේ. දැන් අපිට සිදුවෙලා තියෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට්වල හොඳම පිරිස කවුද කියලා හොයාගන්න” යයි කී නායක ශ්‍රී ලංකා එක්දින පිලේ නායක ලසිත් මාලිංග....

“පහුගිය අවුරුදු තුන හතරෙදි අපි ස්ථාවර මට්ටමකට එන්න හුගක් අරගල කළා. නවක ක්‍රීඩකයන්ට ගොඩක් අවස්ථා ලබාදුන්නා. අපි කවුද කියලා පෙන්නන්න දැන් තමයි වෙලාව” යැයි ද නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසීය.

එක්දින සංචිතයට ඇතුළත්ව සිටි ඇන්ජලෝ මැතිව්ස් කලවේ අබාධයකට ලක්වීම හේතුවෙන් නැවත දිවයින බලා පැමිණියේය. ඔහුගේ හිදැස පිරවීමට කඩුලු රකින පිතිකරු සධීර සමරවික්‍රම නවසීලන්තය බලා පිටත්ව ගියේය.

එංගලන්තයට එරෙහිව පැවැති අවසන් එක්දින තරගයේදී නිරෝෂන් දික්වැල්ල සමග එක්ව ආරම්භක කඩුල්ල සඳහා ලකුණු 137 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූ සධීරට හෙට තරගයේදීද ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් තිබේ. එහෙත් චන්දිමාල්ගේ ස්ථානය තීරණය කිරීමේදී සධීර සමරවික්‍රමගේ ස්ථානයත් සමග සංසන්දනාත්මකව කෙරන විමසීම මත සමරවිකමගේ ස්ථානය තීරණය වනු ඇත.

සධීර සමරවික්‍රම තවමත් සහභාගි වී ඇත්තේ එක්දින තරග 6 කට පමණි. එක්දින ලකුණු 132 ක් ලබා සිටින සධීරගේ හොඳම එක්දින ඉනිම ලකුණු 54 කි. එහෙත් දිනේෂ් චන්දිමාල් එක්දින තරග 144 කට සහභාගි වෙමින් ශතක 4 ක් සහ අර්ධ ශතක 22 ක්ද සමගින් ලකුණු 3586 ක් ලබා තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු ලයිස්තුවට ඇතුළත්ව සිටින කුසල් ජනිත් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් දෙදෙනා හැරුණු විට ශ්‍රී ලංකා සංචිතයේ සිටින පිතිකරුවන් වන නිරෝෂන් දික්වැල්ල (46), ධනුෂ්ක ගුණතිලක (33), ධනංජය ද සිල්වා (27) සහ සධීර සමරවික්‍රම (6) යන සිව්දෙනාම සහභාගි වූ එක්දින තරග සංඛ්‍යාව එකතු කළද ලැබෙන අගය 112 කි. ඇන්ජලෝ මැතිව්ස්ද කණ්ඩායමේ නොසිටින බැවින් පිතිකරුවන්ගේ අත්දැකීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පිල තරමක අර්බුදයකට මුහුණ දී සිටී.

අවසන් වරට පැවැති තරගවලදී දැක්වූ දක්ෂතා අනුව දසුන් ශානක සහ තිසර පෙරේරා තුන් ඉරියව් ක්‍රීඩකයන් හෙට තරගයට සහභාගි වෙතැයි බලාපොරොත්තු විය හැකිය. එබැවින් අසේල ගුණරත්නට ස්ථානයක් හිමිවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම නායක මාලිංග හැරුණුකොට තවත් එක් වේග පන්දු යවන්නකු සහ දඟ පන්දු යවන්නකු සමගින් තරගයට සහභාගි වන්නේ නම් පමණි.

කණ්ඩායම් දෙකම ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර ගනිමින් මෙම තරගාවලියට පිවිසෙන අතර ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේදී දෙරට අතර කාඩිෆ්හිදී පැවැත්වීමට නියමිත තරගය සඳහා පෙර සූදානමක් ලෙසද මෙම තරගාවලිය හැඳින්විය හැකිය.

නවසීලන්ත කණ්ඩායම මෙම තරගාවලියට එක්වන්නේ ප්‍රබල ක්‍රීඩකයන් දෙදෙනක් වන ටොම් ලේතම් සහ කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් ඉදිරි තරගාවලි වෙනුවෙන් විවේක ගන්වමිනි. ආබාධයකට ලක්වීම නිසා තුන් ඉරියව් ක්‍රීඩක කෝරි ඇන්ඩසන්ටද මෙම තරගාවලිය අහිමි වී ඇති අතර ප්‍රවේගකාරී පිතිකරුවකු වන මාටින් ගප්ටිල් සහ ජේම්ස් නීෂම් නැවත කණ්ඩායමට කැඳවා සිටිති.

අන්තරජාතික ක්‍රිකට් සභාවේ එක්දින අන්තර්ජාතික කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ නවතම යාවත්කාලීන කිරීම අනුව නවසීලන්තය 3 වැනි ස්ථානයේද ශ්‍රී ලංකාව 8 වැනි ස්ථානයේද සිටී.


නවසීලන්ත සංචිතය
කේන් විලියම්සන් (නායක), ටේ‍රන්ට් බෝල්ට්, ඩග් බ්‍රාස්වෙල්, ලොකී ෆර්ගියුසන්, මාටින් ගප්ටිල්, මැට් හෙන්රි, කොලින් මුන්රෝ, ජේම්ස් නීෂම්, හෙන්රි නිකලස්, රොස් ටේලර්, ටිම් සෙයිෆර්ට්, ඉෂ් සෝධි සහ ටිම් සවුති


ශ්‍රී ලංකා සංචිතය
ලසිත් මාලිංග (නායක), නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, අසේල ගුණරත්න, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දසුන් ශානක, ලක්ෂාන් සඳකැන්, සීක්කුගේ ප්‍රසන්න, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත, නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර සහ සදීර සමරවික්‍රම

 

 

-036

 


අදහස් (0)

චන්දිමාල්ගේ ස්ථානය අවිනිශ්චිත තත්ත්වයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.