Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කුසල් මෙන්ඩිස්ටත් ස්ථානය අහිමි වෙයි

කුසල් මෙන්ඩිස්ටත් ස්ථානය අහිමි වෙයි

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලබන මාසයේදී පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියෙන් හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් යන දෙදෙනාම ඉවත් කර තිබේ. එක්දින තරග වලදී දිගින් දිගටම අසාර්ථක වීම නිසා කුසල් මෙන්ඩිස් කණ්ඩායමට ඇතුළත් කර නැත. ශාරීරික යෝග්‍යතාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස් එක්දින සංචිතයෙන් ඉවත් කර ඇති බව තේරීම් කමිටු ප්‍රධානී ග්‍රේඒම් ලැබ්රෝයි මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයන් දෙදෙනාම එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා තෝරාගනු ලැබ ඇත.

එක්දින කණ්ඩායමේ නායකයා වශයෙන් දිනේෂ් චන්දිමාල් නම්කර ඇත්තේ 2019 ලෝක කුසලාන තරගාවලිය දක්වා බවද තේරීම් කමිටු සභාපතිවරයා ස්ථිර කළද විස්සයි-20 කණ්ඩායමේ නායකත්වය සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකිරීමට ලැබ්රෝයි මහතා පරෙස්සම් විය.

කුසල් මෙන්ඩිස්ගේ ස්ථානය සඳහා සධීර සමරවික්‍රම කැඳවා තිබේ. ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පැවසූවේ මැද පෙළ පිතිකරුවන් වන ධනංජය ද සිල්වා, දසුන් ශානක හෝ තිසර පෙරේරා යන තිදෙනාගෙන් අයකුට ඇන්ජලෝ මැතිව්ස් මෙන් ‘තරගය අවසන් කිරීමේ’ කාර්යය බාරගත හැකි බවයි.

එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් කණ්ඩායම් තෝරාගැනීම පිළිබඳ පැහැදිළි කිරිම සඳහා අද (26 වැනිදා) සවස ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී තේරීම් කමිටු ප්‍රධානියා සහ ජාතික කණ්ඩායමේ පුහුණුකරුවා මේ බව පැවසූහ. මෙම මාධ්‍ය හමුවට තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් වූ එරික් උපශාන්ත, ගාමිණී වික්‍රමසිංහ සහ ජෙරී වවුටර්ස් යන මහත්වරුද සහභාගි වූහ.

ඇන්ලෝ මැතිව්ස්ගේ කලව පිටුපස ආබාධය කලක පටන්ම පවතින බවත් මෙම ආබාධය හේතුවෙන් කඩුලු අතර දිවීමේදී ඔහු අපහසුතාවනට මුහුණ දෙන බවත් හතුරුසිංහ මහතා පැවසීය.

“විශේෂයෙන්ම තරගයදී පළමුව පන්දු රැකීමෙන් පස්සේ පන්දුවට පහර දෙන අවස්ථාවලදී මැතිව්ස්ගේ කඩුලු අතර දිවයාම ඉතාමත් මන්දගාමියි. ලකුණු එක ලබා නොගන්නවා විතරක් නෙමේ දෙවැනි ලකුණ කරා නොයන අවස්ථාත් තියෙනවා. ඒකෙන් වෙන්නේ අනෙක් පිතිකරුවාත් පීඩනයට පත්වෙන එකයි”

“අනෙක් කාරණය තමයි ඔහු දුවද්දී දැවීයාම් 64 කට සම්බන්ධ වෙලා තියෙනවා. ඒවායින් අවස්ථා 49 කදීම දැවී ගිහින් තියෙන්නේ අනෙක් පිතිකරුවා...ඒවා හදාගෙන නැවත නියමිත ශාරීරික යෝග්‍යතාවට ඇවිත් කණ්ඩායමට නැවත එන්න ඔහුට අවස්ථාව තියෙනවා” යයිද චන්දික හතුරුසිංහ මහතා පැවසීය.

පළපුරුදු වේග පන්දු යවන්නකු වන සුරංග ලක්මාල්ටද එක්දින කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබෙන අතර ලක්මාල් අතිරේක ක්‍රීඩකයන්ගේ ලයිස්තුවට ඇතුළත් කර තිබේ. දීර්ඝ කාලයක් තිස්සේ පිටකොන්දේ ආබාධයකට ප්‍රතිකාර ලබමින් සිටි නුවන් ප්‍රදීප් ප්‍රනාන්දු නැවත වරක් එක්දින සංචිතයට එක්ව සිටින අතර ලසිත් මාලිංගවද තවදුරටත් කණ්ඩායමේ රඳවාගෙන තිබේ.

වමතින් දඟ පන්දු යවන අමිල අපෝන්සු එක්දින සංචිතයට ඇතුළත්ව සිටින නමුත් ටෙස්ට් තරගාවලිය සඳහා මාලින්ද පුෂ්පකුමාර කැඳවා තිබේ. ටෙස්ට් තරගාවලිය සඳහා නම්කරන ලද සංචිතයට ඇතුළත් විශේෂඥ දඟ පන්දු යවන්නන්ගේ සංඛ්‍යාව 5 කි. එක්දින සංචිතයේ ස්ථානය අහිමි වූ සුරංග ලක්මාල් ටෙස්ට් සංචිතයට කැඳවා ඇති අතර ළහිරු කුමාර ටෙස්ට් සංචිතයට නම්කර ඇත්තේ ශාරීරික යෝග්‍යතාව සමත්වීමේ කොන්දේසිය මතය.


ශ්‍රී ලංකා එක්දින සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග, සධීර සමරවික්‍රම, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, දසුන් ශානක, තිසර පෙරේරා, අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, ලසිත් මාලිංග, අමිල අපෝන්සු, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, කසුන් රාජිත සහ කුසල් ජනිත් පෙරේරා
අතිරේක ක්‍රීඩකයෝ
ෂෙහාන් මධුෂංක, කුසල් මෙන්ඩිස්, දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල් සහ ජෙෆ්රි වැන්ඩසේ


ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස් ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ඩිල්රුවන් පෙරේරා, රංගන හේරත්, මාලින්ද පුෂ්පකුමාර, අකිල ධනංජය, සුරංග ලක්මාල්, කසුන් රාජිත, ළහිරු කුමාර සහ ලක්ෂාන් සඳකැන්
අතිරේක ක්‍රීඩකයෝ
දුෂ්මන්ත චමීර, ළහිරු තිරිමාන්න, ජෙෆ්රි වැන්ඩසේ, කුසල් ජනිත් පෙරේරා සහ නිෂාන් පීරිස්

 


අදහස් (0)

කුසල් මෙන්ඩිස්ටත් ස්ථානය අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.