Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කාන්තාවන්ගේ ‘අළු බඳුන’ පොරය අද ඇරඹෙයි

කාන්තාවන්ගේ ‘අළු බඳුන’ පොරය අද ඇරඹෙයි

Nisanka Sandeepani - 2017 ඔක් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත සහ ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන්ගේ ද්වන්ධ සටන ලෙස සැළකෙන සුප්‍රකට අළුබඳුන (කාන්තා) ක්‍රිකට් තරගාවලිය අද (22) ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර ඇලන් බෝඩර් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.  එක්දින තරගාවලියකින් ආරම්භ කෙරෙන මේ තරගාවලියට ටෙස්ට් තරගයක් සහ විස්සයි20 තරගාවලියක් ද ඇතුළත් වේ. 

කාන්තා එක්දින ලෝක කුසලානය දිනාගැනීම සඳහා එංගලන්ත කණ්ඩායම මෙහෙයවූ හෙදර් නයිට්ගේ මීළඟ ඉලක්කය බවට පත්වී ඇති අළුබඳුන තරගාවලියේදී ඕස්ට්‍රේලියානු  පිල මෙහෙයවනු ලබන්නේ රෂේල් හේන්ස් විසිනි. ඇයට හදිසියේම නායකත්වයේ ඔටුන්න පැළඳීමට සිදුවූයේ ඕස්ට්‍රේලියානු පිලේ නිත්‍ය නායිකා මෙග් ලැනින් තුවාල ලබා කණ්ඩායමෙන් ඉවත්වීම හේතුවෙනි.

මෙග් ලැනින් අබාධයකට ලක්වීම ඕස්ටේ්‍රලියානු පිලේ දරුණු හිදැසක් ඇති කළ එකක්  බව බැලූ බැල්මටම පෙනේ. කෙසේ වෙතත් වුවත් අළුබඳුන නොමැතිව ආපසු හැරීමක් නොමැති බව කියන එංගලන්ත පිලේ නායිකා නයිට් ඕස්ට්‍රේලියානුවන් තවමත් ලොව හොඳම කණ්ඩායම බව පිළිගන්නීය. 

වසර 1993 ට පසුව ඕස්ට්‍රේලියානු පිල පරාජය කිරීමට එංගලන්තයට අවස්ථාව උදාවූයේ පසුගිය කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයකදීය. එවර එංගලන්ත පිල ලකුණු 3 ක තියුණු ජයක් ලැබීය. 

අපිට අවසන් මහා තරගය දක්වා යන්නත්, අවසන් මහා තරගය ජයගන්නත් ඒක ලොකු උත්තේජනයක් වුණා.” හීදර් නයිට් දැන් කියන්නේ එලෙසය.
කාන්තා අළුබඳුන තරගාවලිය අවසන් වරට පැවැත්වූයේ 2015 දීය. එවර ඕස්ට්‍රේලියානුවන්  හමුවේ එංගලන්ත පිල යටත්වෙද්දී පරාජිතයන්ගේ උපනායිකාව වූයේ හෙදර්ය. දැන් ඇය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කරපින්නා ගෙන පරාජයේ වාඩුව ගැනීමට මාන බලමින් සිටින්නීය. 

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර ‘අළුබඳුන’ ටෙස්ට් තරගාවලියට මාසයක කාලයක් ඉතිරිව තිබියදී ඇරැඹෙන කාන්තා තරගාවලියේ ශූරියන් තෝරන්නේ එක්දින, ටෙස්ට් හා විස්සයි20 තරගාවලියේ ජයග්‍රාහී ප්‍රසාද ලකුණු අනුවය. අද ඇරැඹෙන එක්දින තරගාවලියේදී ජයග්‍රහණයකක් වෙනුවෙන් ලකුණු 2 ක් හිමිවෙයි. දෙපිල අතර එකම ටෙස්ට් තරගයේ ජයග්‍රහණයට ලකුණු 4 ක් ලැබේ. 

සංචාරක කණ්ඩායමේ නායිකාවගේ අරමුණ එසේ වුවත් කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේදී අනපේක්ෂිත ලෙස පරාජයට පත්ව ඉවතට විසිවූ ඕස්ට්‍රේලියානු පිල එහි වේදනාව මකා දැමීමට බලා සිටින්නේ ලෝක ශූර එංගලන්තය අළුබඳුනේදී පරාජයට පත්කිරීමෙනි. 

හෙට ඇරැඹෙන අළුබඳුන තරගාවලියේ වැඩිම අවධානය දිනා සිටින්නේ එක්දින ලෝක කුසලාන ශූරතාව එංගලන්තයට දිනාදෙමින් සුපිරි පන්දු යැවීමක නිරතවූ ආන්යා ශ්රබ්සෝල් කෙරෙහිය. ඇය ඉන්දියාව සමග පැවැති ලෝක කුසලාන අවසන් තරගයේදී ලකුණු 46 කට කඩුලු 6ක් දවාලීමට සමත්වූවාය. අත්දැකීම් බහුල කැතරින් බෘන්ට් මෙන්ම 18 හැවිරිදි දඟපන්දු යවන සොෆී එක්ලෙස්ටොන් කෙරෙහිද එංගලන්ත පිල අප්‍රමාණ බලාපොරොත්තු තබා සිටී.

නායිකා සුපිරි ක්‍රීඩිකා මෙග් ලැනින්ගේ දායකත්වය නොලැබීමෙන් තරමක් සසලවී සිටින ඕස්ට්‍රේලියානුවෝ එය අඩුපාඩුවක් නොකරගැනීමට වගබලා ගන්නා බව වැඩ බලන නායිකා රෂේල් කියන්නීය. තුන්ඉරියව් ක්‍රීඩිකා එලිස් පෙරී පන්දුවෙන් හා පිත්තෙන් අවශ්‍ය දායකත්වය ලබාදෙනු ඇතැයි ද ඇය බලාපොරොත්තු වන්නීය. ප්‍රතිවාදීන් බියගන්වන සුලු පිතිහරඹයක යෙදෙන මීගන් ෂූට් ද, වමත් දඟපන්දුවෙන් ප්‍රතිවාදීන් අන්දමන්ද කරවන 18 හැවිරිදි ලොරේන් චීට්ල් ද කණ්ඩායමට ශක්තියක් වනු ඇතැයි රෂෙල් හේන්ස්  පවසන්නීය. 

ඕස්ට්‍රේලියානු  කාන්තා කණ්ඩායම
රෂේල් හෙයින්ස් (නායිකා), ක්‍රිස්ටීන් බීම්ස්, ඇලෙක්ස් බ්ලැක්වෙල්, නිකෝල් බෝල්ටන්, ලොරේන් චීට්ල්, ඇෂ්ලයි ගාර්ඞ්නර්, ඇලිස් හීලි, ජෙස් ජොන්සෙන්, තාලියා මැග්‍රාත්, බෙත් මූනි, එලිස් පෙරී, මීගන් ෂූට්, එලිස් විලානි සහ අමන්දා වෙලිංටන්.

එංගලන්තය කාන්තා කණ්ඩායම 
හෙදර් නයිට් (නායිකා), ටැමී බියුමන්ට්, කැත්රින් බෘන්ට්, සොෆී එක්ලෙස්ටොන්, ජෝර්ජියා එල්විස්, ජෙනී ගන්, ඇලෙක්ස් හාර්ට්ලි, ඩැනියෙල් හේස්ල්, ලෝරා මාර්ෂ්, නතාලි ෂීවර්, ආන්යා ශ්රබ්සෝල්, සාරා ටේලර්, ෆ්‍රැන් විල්සන්, ලොරේන් වින්ෆීල්ඞ්, ඩැනියෙල් වේට්

 


අදහස් (0)

කාන්තාවන්ගේ ‘අළු බඳුන’ පොරය අද ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.