Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner එංගලන්තයට ලකුණු 31 ක ජයක්

එංගලන්තයට ලකුණු 31 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 31 ක ජයක් අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 279 ක ඉලක්කයක් හඹායමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 29 ක් අවසානයේ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 5 ක් දැවී ලබා සිටියේ ලකුණු 140 ක් පමණි.

කඩුලු 5 ක් බිඳ වැටී තිබූ බැවින් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව තරගය ජයගැනීමට නම් ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 171 ක් ලබා සිටිය යුතුව තිබිණ. තරගය නතර කරන විට ධනංජය ද සිල්වා පන්දු 50 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 36 ක්ද, තිසර පෙරේරා පන්දු 49 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 44 ක්ද ලබා නොදැවී පන්දුවට පහර දෙමින් සිටියහ.

ලකුණු 31 කට කඩුලු 4 ක් දැවී අසරණ තත්වයකට පත්ව තිබූ ශ්‍රී ලංකා කණ්ඩායම එම තත්වයෙන් මුදවා ගැනීමේ උත්සාහයක නිතර වු කුසල් පෙරේරා (30) සහ ධනංජය ද සිල්වා (නොදැවී 36) සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 43 කදී ලකුණු 48 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. එහෙත් පිට ඉන්නෙන් ඉවතට ඇදීගිය ලයාම් ඩෝසන්ගේ පන්දුවකට පුල් පහරක් ගැසීමට යෑමේදී කුසල් පෙරේරා දැවීයාමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්විය.

මිඞ් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි ජේසන් රෝයි අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට කුසල්ගේ ඉනිමට හතරේ පහර 4 කින් අන්තරගත වී තිබිණ. කුසල්ගේ දැවීයාමෙන් අනතුරුව ධනංජය සමග එක්වූ උප නායක තිසර පෙරේරා, තරමක ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වෙමින් ශ්‍රී ලංකා ඉනිමේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 78 කදී ලකුණු 66 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් විය.

ආරම්භයේදීම ශ්‍රී ලංකා පිතිකරුවන් අමාරුවේ දැමූ ක්‍රිස් වෝක්ස් ඕවර 5 ක් යවමින් ලකුණු 26 කට කඩුලු 3 ක් දවාගත්තේය. කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර්ගේ සහායද ඇතිව උපුල් තරංග (0) සහ දසුන් ශානක (8) දවාගත් වෝක්ස්, නායක දිනේෂ් චන්දිමාල් (6) පිටියෙන් ඉවත් කළේ ඔහුගේ කඩුල්ල බිඳ දමමිනි. ඔලී ස්ටොන්ගේ මංගල එක්දින කඩුල්ල බවට පත්වෙමින් නිරෝෂන් දික්වැල්ල ලකුණු 9 කට දැවී ගියේද ජොස් බට්ලර් අතට උඩ පන්දුවක් දෙමිනි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා එංගලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටි අතර පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 278 ක් ලබාගත්තේය.  

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ලසිත් මාලිංග, එංගලන්ත කණ්ඩායමට පහසුවෙන්ම ලකුණු 300 සීමාව පසුකර යෑමට තිබූ අවස්ථාව අහිමි කරමින් ලකුණු 44 කට කඩුලු 5 ක් දවාගත්තේය. 41 වැනි ඕවරයේ පිට පිට පන්දු දෙකකදී ඔයින් මෝගන් සහ මුයින් අලී දවාගත් මාලිංග, 46 වැනි ඕවරයේ පළමු සහ අවසන් පන්දුවලදී ක්‍රිස් වෝක්ස් සහ ලයෑම් ඩෝව්සන් දවාගනිමින් එංගලන්ත කණ්ඩායමේ පසුපෙළ අඩ පණ කළේය.

කෙසේ වුවත් ආදිල් රෂීඞ් (නොදැවී 19) සහ ඔලී ස්ටොන් (නොදැවී 9) එක්ව අවසන් කඩුල්ල වෙනුවෙන් පන්දු 18 කදී ලකුණු 24 ක සම්බන්ධතාවක් ගොඩනගමින් එංගලන්ත කණ්ඩායම ලකුණු 275 සීමාවෙන් ඔබ්බට රැගෙන ආහ. අවසන් ඕවර කිහිපයේදී එංගලන්ත කණ්ඩායමේ ලකුණු ලබාගැනීමේ වේගය ඉහළ නැංවීමේ උත්සාහයක නිරත වූ ජොස් බට්ලර්ගේ (28) කඩුල්ල බිඳ දැමීමට නුවන් ප්‍රදීප් සමත් විය.

එංගලන්ත ඉනිමේ කොඳු නාරටිය බවට පත්වූ නායක ඔයින් මෝගන්, හයේ පහර දෙකක් සහ හතරේ පහර 11 ක් සමග සිය 40 වැනි එක්දින අර්ධ ශතකය ලබාගත්තේය. පන්දු 91 කදී ලකුණු 92 ක් ලබා සිටියදි ලසිත් මාලිංගගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් ලබාදෙමින් ශතකය පෙනි පෙනී මෝගන් පිටියෙන් ඉවත්ව ගියේය. ජෝ රූට් (71) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 90 කදී ලකුණු 68 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මෝගන්, ඉන් නොනැවතී බෙන් ස්ටොක්ස් (15) සමග සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 47 කදී ලකුණු 50 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් එංගලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.  
පන්දු 83 කට මුහුණ දුන් ජෝ රූට්, එහිදී හතරේ පහර 6 ක් සමග සිය 30 වැනි එක්දින අර්ධ ශතකය ලබාගත්තේය. අර්ධ ශතකය සම්පූර්ණ කිරීමට ලකුණු 2 ක් පසුපසින් සිටියදී ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවක් හමුවේ ලබාදුන් උඩ පන්දුවක් මිඞ් විකට් කළාපයේ පන්දු රකිමින් සිටි ධනංජය ද සිල්වා අතින් ගිළිහීයෑම නිසා රුට්ට තවදුරටත් කඩුල්ලේ රැදී සිටීමේ අවස්ථාව උදා විය.

එංගලන්ත ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් රූට් සහ ජොනී බෙයාස්ට්‍රෝ (26) අතර පැවැති ලකුණු 72 ක සම්බන්ධතාවට තිත තබමින් බෙයාස්ට්‍රෝගේ කඩුල්ල බිඳ දැමීමට තිසර පෙරේරා සමත් විය. දැවීයන විට පන්දු 40 කට මුහුණදී සිටි බෙයාස්ට්‍රෝගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් වී තිබිණ. පළමු ඕවරයේ සිව්වැනි පන්දුවේදීම එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු ජේසන් රෝයි පිටියෙන් ඉවත් කිරීමට ලසිත් මාලිංග සමත් විය. මිඞ් විකට් කළාපයේ පන්දු රකිමින් සිටි අකිල ධනංජය අතට පහසු උඩ පන්දුවක් දෙමින් දැවීයන විට රෝයි එකදු ලකුණක් හෝ ලබා නොසිටියේය.

 

 

ශ්‍රී ලංකා - එංගලන්ත දෙවැනි එක්දින තරගයේ විශේෂ අවස්ථා...


අදහස් (0)

එංගලන්තයට ලකුණු 31 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.