Last Update  :  2025-10-24 17:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner එංගලන්තය ටෙස්ට් තරගාවලිය ජයගනී

එංගලන්තය ටෙස්ට් තරගාවලිය ජයගනී

Nisanka Sandeepani - 2018 සැප් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවට එරෙහිව සදම්ප්ටන්හිදී පැවැති සිව්වැනි ටෙස්ට් තරගයේදී විශිෂ්ට පන්දු යැවීමක යෙදුණු මුයින් අලී, එම තරගයේදී ලකුණු 60 ක ජයක් කරා එංගලන්ත කණ්ඩායම කැඳවාගෙන ගියේය. මෙම ජයත් සමගින් තරගයක් ඉතිරිව තිබියදීම තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ජයගැනීමට එංගලන්ත පිල සමත් විය. 

තරගාවලියේ පළමු තරග දෙකම ජයගත් එංගලන්ත කණ්ඩායම මේ වන විට 3-1 ක් ලෙසින් තරගාවලිය ජයගෙන සිටී. තරගාවලියේ අවසන් තරගය ලබන සිකුරාදා ලන්ඩන් ඕවල් පිටියේදී ආරම්භ වේ. 

ලෝකයේ අංක 1 හිමි ටෙස්ට් කණ්ඩායම වන ඉන්දීය පිල සිව්වැනි තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 245 ක ඉලක්කයක් කරා ගියද ලකුණු 184 කට දැවී ගියේය. ඉන්දීය පිතිකරුවන් අමාරුවේ හෙළමින් ලකුණු 71 කට කඩුලු 4 ක් දවාගත් මුයින් අලී, ඉන්දීය බලාපොරොත්තු සීසීකඩ විසුරුවා දැම්මේ ඉන්දීය නායක විරාට් කෝලි පිටියෙන් ඉවත් කරමිනි. 

පළමු ඉනිමේදීත් කඩුලු 5 ක් දවාගත් හෙයින් මුයින් අලී, තරගය අවසන් කළේ ලකුණු 134 කට කඩුලු 9 ක් දවාගනිමිනි. එංගලන්ත මුල් ඉනිමේදී පිත්තෙන්ද ලකුණු 40 ක් ලබාගත් අලී විවාදයකින් තොරවම තරගයේ වීරයා වශයෙන් නම් කරන ලදි.

හැම්ප්ෂයර් ප්‍රාන්තයේ ක්‍රිකට් මූලස්ථානය වන සදම්ප්ටන්හිදීම වසර හතරකට ඉහතදී එංගලන්තය විසින් ඉන්දියාව ලකුණු 266 කින් පරාජය කළ අවස්ථාවේදීත් මුයින් අලී ලකුණු 67 කට කඩුලු 6 ක් දවාගත්තේය. 

එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 271 කට සීමා කරගත් ඉන්දීය පිලට ලැබුණේ අභියෝගාත්මක ඉලක්කයකි. ටෙස්ට් ඉතිහාසයේදී ඉන්දීය කණ්ඩායමක්, සිය මව්බිමෙන් පිටතදී, ලකුණු 200 ඉක්මවූ ඉලක්කයක් හඹාගොස් ජයගෙන ඇත්තේ පස් වතාවක් පමණි. මෙම තරගය ජයගැනීමට නම් ඉන්දීය පිලට සිය මව්බිමෙන් පිටතදී ජයග්‍රහණයක් වෙනුවෙන් හඹා යා යුතු වූ සිව්වැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලබාගැනීමට සිදුවී තිබිණ. 

ඉන්දීය දෙවැනි ඉනිමේදී ලකුණු 22 කට කඩුලු 3 ක් බිඳ වැටීමෙන් පසුව එක්වූ නායක විරාට් කෝලි (58) සහ උපනායක අජින්ක්‍යා රහනේ (52) සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 101 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. එහෙත් විරාට් කෝලි දැවී යාමෙන් පසුව ලකුණු 13 ක් ඇතුළතදී කඩුලු 4 ක් බිඳ වැටීමෙන් ඉන්දීය ගමන අඩාළ විය. 

ඉන්දීය පිලේ මෙම පරාජයත් සමගින් විද්‍යමාන වන්නේ ආසියානු කලාපයෙන් පිටතදී ඉන්දියානු පිලේ අවසන් ටෙස්ට් තරගාවලි 9 න් ඉන්දියාව ජයගෙන ඇත්තේ එකකින් පමණක් බවයි. ඒ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිවය. 

එංගලන්තය පළමු ඉනිම  - 246
ඉන්දියාව පළමු ඉනිම - 273
එංගලන්තය දෙවැනි ඉනිම  - 271
ඉන්දියාව දෙවැනි ඉනිම  - 184

(ෂිකාර් ධවාන් 17, විරාට් කෝලි 58, අජින්ක්‍යා රහනේ 51, රිෂාබ් පන්ට් 18, රිචන්ද්‍රන් අශ්වින් 25, ජේම්ස් ඇන්ඩසන් 33/2, මුයීන් අලී 71/4, බෙන් ස්ටෝක්ස් 34/2)

 

 


අදහස් (0)

එංගලන්තය ටෙස්ට් තරගාවලිය ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.