Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner එංගලන්තය 2-0 කින් ඉදිරියට පනී

එංගලන්තය 2-0 කින් ඉදිරියට පනී

Nisanka Sandeepani - 2018 අගෝ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝකයේ බලසම්පන්නතම පිතිකරු හමුදාව යයි විරුදාවලිය ලත් ඉන්දීය පිලේ ඉනිම දෙකම ලකුණු 237 කට සීමා කළ එංගලන්ත පන්දු යවන්නෝ ලෝඞ්ස් පිටියේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ඉනිමක සහ ලකුණු 159 ක දැවැන්ත ජයග්‍රහණයක් ලබාගත්හ. මෙම ජයත් සමගින් ජෝ රූට්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත කණ්ඩායම තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී 2-0 ක් ලෙසින් පෙරමුණ ගත්තේය. 

එංගලන්තය පෙරමුණ ගෙන සිටින්නේ ලෝකයේ අංක 1 හිමි ටෙස්ට් කණ්ඩායම වන ඉන්දීය පිලට එරෙහිවය. 

තරගයේ පළමු දිනය සම්පූර්ණයෙන් වර්ෂාවට සේදී ගිය නමුත් දින තුනක් ඇතුළතදී තරගය අහවර කිරීමට එංගලනත්ත ක්‍රීඩකයෝ සමත් වූහ. ඉන්දීය දෙවැනි ඉනිමේදී අතිශය තීරණාත්මක පන්දු යැවීමක නිරත වූ ස්ටුවර්ට් බ්‍රෝඞ් පිට පිට පන්දු දෙකකදී විරාට් කෝලි (17) සහ දිනේෂ් කාර්තික් (0) පිටියෙන් පිටමං කළේය. මෙම ඉනිමේදී බ්‍රෝඞ් දවාගත්තේ කඩුලු 4 ක් වූවත් එම කඩුලු හතරේ බලපෑම නිසා ඉන්දීය ඉනිම එකතැන කඩාවැටුණේය. 

එංගලන්ත පළමු ඉනිමේදීත් ලකුණු 131 කට කඩුලු 5 ක් බිඳ වැටුණ නමුත් ක්‍රිස් වෝක්ස්ගේ (නොදැවී 137) අපරාජිත ශතකයත් පසුපෙළ පිතිකරුවන්ගේ සාර්ථක සම්බන්ධතාත් හේතුවෙන් සිය මුල් ඉනිම සඳහා කඩුලු 7 කට ලකුණු 396 ක් ලබාගත් එංගලන්තය පන්දුවට පහර දීමේ වාරය ඊයේ පෙරවරුවේදීම නැවතත් ඉන්දීය පිලට බාර කළේය. මුල් ඉනිමේදි ලකුණු 107 කට දැවී යාම හේතුවෙන් එංගලන්ත පිතිකරුවන් නැවතත් පිටියට කැඳවීමට නම් ඉන්දීය පිල සිය දෙවැනි ඉනිමේදී ලකුණු 289 ක් ලබාගත යුතුව තිබිණ. 

ඉන්දීය ආරම්භක පිතිකරු මුරලි විජේ ලකුණු ලබාගැනීමට පෙර දවාගැනීමත් සමගම ලෝඞ්ස් පිටියේදී ටෙස්ට් කඩුලු 100 ක් දවාගත් ලෝකයේ පළමු වැන්නා වූ ජේම්ස් ඇන්ඩසන් විසින් මුරලි විජේගේ සහායක පිතිකරුවා වූ ලෝකේෂ් රාහුල්ගේ ඉනිම ලකුණු 10 කට සීමා කරන ලදි. 

ඇන්ඩර්සන් නැවැත්වූ තැනින් පන්දු යැවීම ආරම්භ කළ ස්ටුවර්ට් බ්‍රෝඞ් ඉන්දීය දෙවැනි ඉනිම එකතැන කඩා දැම්මේ අජින්ක්‍යා රහනේ, චෙටේස්වාර් පුජාරා, විරාට් කෝලි සහ දිනේෂ් කාර්තික් යන සිවුදෙනාම ලකුණු 26 ක් තුළ ආපසු ක්‍රීඩාගාරයට යවමිනි. බ්‍රෝඞ්ගේ මෙම පන්දු යැවීම හේතුවෙන් කඩුලු දෙකකට ලකුණු 35 ක් වශයෙන් තිබූ ඉන්දීය ලකුණු පුවරුව ඕවර 11 ක් ඇවෑමෙන් කඩුලු 6 කට 61 ක් ලෙසින් සටහන් විය. 

විරට් කෝලි සහ දිනේෂ් කාර්තික් දෙදෙනාගේම දැවී යාම් විනිසුරු අලීම් දාර් මහතා විසින් ප්‍රතික්ෂේප කරන ලද නමුත් එංගලන්ත ක්‍රීඩයන්ගේ ඉල්ලීම මත තුන්වැනි විනිසුරුවරයා විසින් අනුමත කරන ලදි. 

තේ පානයෙන් පසුව ඉන්දීය පිතිකරු දඩයම ඇරඹූ ජේම්ස් ඇන්ඩසන් සහ ක්‍රිස් වෝක්ස් දෙදෙනා දිනයක් ඉතිරිව තිබියදීම ඉන්දීයානු ඉනිමේ අවසන් පිතිකරුවන් හතර දෙනාගේම සටන නිමා කළහ. පසුපෙළ පිතිකරු රවිචන්ද්‍රන් අශ්වින් ඉන්දීය පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා විය. 

තරගාවලියේ තුන්වැනි ටෙස්ට් තරගය මේ මස 18 වැනිදා නොටිංහැම්හිදී ආරම්භ වේ. 

ඉන්දියාව - පළමු ඉනිම 107 යි
(විරාට් කෝලි 23, අජින්ක්‍යා රහනේ 18, හර්දික් පාණ්ඩ්‍යා 11, රවිචන්ද්‍රන් අශ්වින් 29, මොහොමඞ් ෂාමි 10, ජෙම්ස් ඇන්ඩසන් 20/5, ක්‍රිස් වෝක්ස් 19/2)

එංගලන්තය  - පළමු ඉනිම කඩුලු 7 ට 396 
ඇලිස්ටෙයාර් කුක් 21, කීටන් ජෙනිංග්ස් 11, ජෝ රූට් 19, ඔලී පෝප් 28, ජොනී බෙයාර්ස්ටෝ 93, ජොස් බට්ලර් 24, ක්‍රිස් වෝක්ස් නොදැවී 137, සෑම් කරන් 40, මොහොමඞ් ෂාමි 96/3, හර්දික් පාණ්ඩ්‍යා 66/3)

ඉන්දියාව - දෙවැනි ඉනිම 130 යි
(ලෝකේෂ් රාහුල් 10, චෙටේස්වාර් පුජාරා 17, අජින්ක්‍යා රහනේ 13, විරාට් කෝලි 17, හර්දික් පාණ්ඩ්‍යා 26, රවිචන්ද්‍රන් අශ්වින් නොදැවී 33, ජේම්ස් ඇන්ඩසන් 23/4, ස්ටුවර්ට් බ්‍රෝඞ් 44/4, ක්‍රිස් වෝක්ස් 24/2)

ඡායාරූප - රොයිටර් අනුග්‍රහයෙනි


අදහස් (0)

එංගලන්තය 2-0 කින් ඉදිරියට පනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.