Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner අපේ තැන පෙන්වීමට හොඳ අවස්ථාවක්

අපේ තැන පෙන්වීමට හොඳ අවස්ථාවක්

Nisanka Sandeepani - 2017 ජුලි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය තරග සංචාරය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්න තැන පෙන්වීමට හොඳ අවස්ථාවක් බව ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි20 කණ්ඩායම්වල නායක ජ්‍යෙෂ්ඨ පිතිකරු උපුල් තරංග ඊයේ (20) පැවසීය. 

ශ්‍රී ලංකාවේදී මේ මස 26 වැනිදා ආරම්භ වන ඉන්දීය සංචාරය පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් කොළඹදී ඊයේ පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී තරංග වැඩි දුරටත් මෙසේ පැවසීය.  

“මෙම තරගාවලිය ඉතාමත් වැඳගත් තරගාවලියක් වනවාට සැකයක් නෑ. ඉන්දියාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ ඉන්නේ. ලොව අංක එකේ කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරලා අපේ හැකියව පෙන්වන්න මෙය අවස්ථාවක් වෙලා තියෙනවා”

“අපි කණ්ඩායමක් විදියට ප්‍රබල ඉන්දීය පිලට එරෙහිව ක්‍රීඩා කිරීමට සූදානමින් ඉන්නවා”

“සිම්බාබ්වේ කණ්ඩායම සමස්ත තරගාවලියේම ඉතාම හොඳින් ක්‍රීඩා කළා. අපි ඒ තරගය ජය ගත්තේ ලකුණු 388 ක් හඹා ගිහිල්ලා. ප්‍රබල සටනකින් පසුව තමයි ජය ලැබුවේ. ඉන් පසුව අපේ ක්‍රීඩකයන්ගේ විශ්වාසය වැඩි වෙලා තියෙනවා”

“අපිට තියෙන්නේ මෙතනින් ඉදිරියට දියුණු වෙන්නේ කොහොමද කියලා බලන එක. ඕස්ටේ්‍රලියාව ශ්‍රේණිගත කිරීමේ අංක එකේ සිටියදී අපි 3-0 කින් පරාජය කළා. අපේ තැන කොතනද කියලා පෙන්නන් මේක හොඳ අවස්ථාවක් කියලා මම හිතනවා”

“ඉන්දීය පිලේ හොඳ දඟ පන්දු යවන්නෝ ඉන්නවා. අපි ඒ සඳහා පුහුණුකරුවොත් එක්ක එකතු වෙලා පුහුණුවීම් කරගෙන යනවා. අපි දන්නවා අපිට ඉදිරියේ තියෙන අභියෝගය මොකක්ද කියලා” යැයි තරග වැඩි දුරටත් පැවසීය. 

ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ නායක දිනේෂ් චන්දිමාල් රෝගී තත්ත්වයකින් පසුවීම නිසා මාධ්‍ය හමුවට සහභාගි නොවූ අතර ශ්‍රී ලංකා පිලේ කළමනාකරු අසංක ගුරුසිංහ මහතා පැවසුවේ ඉදිරි දින කීපයේදී ඔහු යථා තත්ත්වයට පත්වනු ඇති බවයි. 

මෙම මාධ්‍ය හමුවට සභාගිවූ ඉන්දීය පිලේ නායක විරාට් කෝලි පැවසුවේ ලොව අංක එකේ කණ්ඩායම ලෙස ඕනෑම තත්ත්වයක් යටතේ අභියෝගයක් වීමට තම කණ්ඩායම සූදානම් බවයි. 
එහිදී කෝලි වැඩි දුරටත් මෙසේ පැවසීය.

“අපේ කණ්ඩායම ඉතාමත් සමබර කණ්ඩායමක්, ලෝකයේ අංක එකේ කණ්ඩායම ලෙස ඕනෑම තත්ත්වයක් තුළ ක්‍රීඩා කිරීමට සූදානමින් ඉන්නනේ”

“ශ්‍රී ලංකාවේ නැවත සංචාරයකට සහභාගි වෙන්න ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. ශ්‍රී ලංකාවේ පසුගිය සංචාරවල මතකයන් අපි සතුව තිබෙනවා. මම හිතනවා මෙම තරගාවලිය ඉතාමත් දැඩි තරගකාරී සහ හොඳ තරගාවලියක් වෙයි කියලා”

“ශ්‍රී ලංකාවට එරෙහිව මෙම තරගාවලිය ජය ගන්න අපිට ගොඩක් මහන්සි වෙන්න වෙයි. අපි ඕනෑම කණ්ඩායමකට ගෞරවය ලබාදිය යුතුයි. තරග ජය ගන්නනම් අනිවාර්යෙන් ගෞරවය ලබාදිය යුතුයි කියලා මම හිතන්නේ. එය ශක්තිමත් හෝ දුර්වල එකක් විය හැකියි. නමුත් සෑම තරගයක්ම පන්දු යැවීම, පන්දුවට පහරදීම එක ලෙසම කළ යුතුයි. ඕනෑම කණ්ඩායමකට එරෙහිව හොඳින් ක්‍රීඩා කළ යුතුයි”

“අවසන් වතාවේ ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කරන විට අත්දැකීම් ගොඩක් තිබෙන ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාවට සිටියා. සංගා ක්‍රීඩා කළා, ඇන්ජලෝ, රංගන සහ ධම්මික ක්‍රීඩා කළා. මෙවර අත්දැකීම්වල ලොකු වෙනසක් තියෙනවා”

“පුහුණු තරගය හෙට ආරම්භ වෙනවා. අපිට එක්දින තරගවලින් ටෙස්ට් තරගවලට මානසික තත්ත්වය වෙනස් කරන්න අවස්ථාව ලැබෙනවා”

ආරම්භක පිතිකරු මුරලි විජේ ආබාධයකට ලක්ව ශිකර් දවාන් ආදේශ කිරීම පිළිබඳව කෝලි මෙසේ පැවසීය. 

“ආබාධයන්ට ලක්වීම අවාසනාවක්, ඕනෑම ක්‍රීඩාවට ඒක පොදුයි. නමුත් ඕනෑම ක්‍රීඩකයෙක් කණ්ඩායමට ඇවිත් දස්කම් දැක්විය යුතුයි. විජේ මෙම තරගාවලියට නෑ. ශිකර් නැවත කණ්ඩායමට ඇවිත් ඉන්වා. ඔහු ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ද හොඳට ක්‍රීඩා කළා. තරගාවලියේ ඉදිරිය පිළිබඳව අපි අවධානය යොමු කරනවා”

රංගන හේරත්ගෙන් එල්ල වියහැකි අභියෝගය පිළිබඳව ද කෝලි මෙසේ පැවසීය. 
“රංගන හේරත් හොඳ පන්දු යවන්නෙක්. අපි එයට සූදානම් වෙනවා. අපි ජාතික කණ්ඩායමක් ලෙස අතපසුවීම් හදාගනිමින් ඉදිරියට යන්න ඕනේ. දුර්වලතා හදුනාගෙන ඒවා ඊළඟ දිනයේ හෝ ඊළඟ පුහුණු සැසියේදී හදාගත යුතුයි”

මෙම මාධ්‍ය හමුවට ඉන්දීය පිලේ පුහුණුකරු රවී ශාස්ත්‍රි, ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු නික් පෝතාස් යන මහත්වරු ද සහභාගි වූහ.

මෙම දීර්ඝ ඉන්දීය සංචාරයට ටෙස්ට් තරග 3 ක්, එක්දින තරග 5 ක් සහ විස්සයි20 තරගයක් ඇතුළත් වන අතර පළමු ටෙස්ට් තරගය මේ මස 26 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.  

 


අදහස් (0)

අපේ තැන පෙන්වීමට හොඳ අවස්ථාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.