ශ්‍රේණිගත කිරිමක් යනු හුදෙක් ඉලක්කමක් පමණක් බවත්, තරගයක් පැවැත්වෙන දිනයේදී ප්‍රතිවාදී කණ්ඩායමට වඩා හොඳින් ක්‍රීඩා කළහොත් ශ්‍රේණිගත කිරිමවල පහළින් සිටින ඕනෑම කණ්ඩායමකට ශ්‍රේණිගත කිරිමවල ඉහළින් සිටින ඕනෑම කණ්ඩායමක් පරාජය කිරීමේ හැකියාව ඇති බවත් ශ්‍රී ලංකා කාන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු කියයි. ඉන්දීයාවට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි20 තරගාවලියට පෙර තරගාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව පවසූවාය.
කාන්තා එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දීය කණ්ඩායම 4 වැනි ස්ථානයේ සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇත්තේ 8 වැනි ස්ථානයයි.
මෙම පුවත් පත් සාකච්ඡාවේදී චමරි අතපත්තු මෙසේද කියා සිටියාය.
“මම හිතන්නේ මොන කණ්ඩායමක් ගත්තත් එදා දවසේ හරියට ක්‍රීඩා කරන කණ්ඩායම තමයි තරගය දිනන්නේ. ශ්‍රේණිගත කිරීම්වලට අනුව ගත්තොත් 2013 වසරේ ලෝක කුසලානයට යනකොට අපි හිටියේ 8 වැනි තැන.”
“සුදුසුකම් ලැබීමේ තරගාවලියකටත් ක්‍රීඩා කරලා තමයි අපි ලෝක කුසලානයට යන්න අවස්ථාව උදා කරගත්තේ. හැබැයි එවර ලෝක කුසලාන තරගාවලියෙදි අපිට පුළුවන් වුණා අපිට වඩා ඉදිරියෙන් හිටපු ඉන්දියාව, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව යන රටවල් පරාජය කරන්න.”
“එතකොටත් හර්ෂ සර් තමයි අපේ පුහුණුකරු විධියට හිටියේ. ඉතින් මම හිතන්නේ ශ්‍රේණිගත කිරිමක් කියන්නේ එක්තරා ඉලක්කමක් විතරයි. එදා දවසේ හරියට කළොත් අනිවාර්යෙන්ම ඕනම කණ්ඩායමක් පරාජය කරන්න අපිට පුළුවන්” යැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව වැඩි දුරටත් පැවසුවාය.
පසුගිය දිනවල දිගින් දිගටම පුහුණුවීම්වල නිරත වීම නිසා මෙන්ම පුහුණු තරගවලට ක්‍රීඩා කිරීම නිසා මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් ඉන්දියාවට මුහුණදීම සඳහා හොඳ සූදානමකින් පසුවන බවද එහිදී අතපත්තු සඳහන් කළාය.
“අපේ ක්‍රීඩිකාවන් පසුගිය දවස්වල දිගින් දිගටම පුහුණුවීම්වල නිරත වුණා. පුහුණු තරග සහ තේරීම් තරග රාශියකට ක්‍රීඩා කළා. ඒ නිසා මේ වන විට ඔවුන් ඉන්දියාව සමග තරග වැදීමට හොඳ සූදානමකින් ඉන්නවා කියලා මට කියන්න පුළුවන්.”
“හර්ෂ සර් අලුත් පුහුණුකරු විදියට එනකොට අපේ 24 දෙනෙකුගේ සංචිතයක් තමා තිබුණේ. ඊට පස්සේ එකෙන් හොඳම ක්‍රීඩිකාවන් 20 දෙනෙක් තෝරලා අරන් අපිට ඔහු යටතේ සති එකහමාරක, සති දෙකක විතර කාලයක් එක දිගට පුහුණුවීම් ලබා දුන්නා.”
“මේ වෙනකොට අපේ ක්‍රීඩිකාවන් කායික වගේම මානසික අතිනුත් ඉතාමත් හොඳ තත්වයක ඉන්නවා. ඒ නිසා අපිට මේ තරගාවලියේදී ඉන්දියාවට එරෙහිව ජයග්‍රහණ ලබාගන්න පුළුවන් වේවි කියලා මම හිතනවා.” යැයි ඇය වැඩි දුරටත් කියා සිටියාය.
තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් නව පුහුණුකරු හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ තමා අවසන් වරට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ සමයේ ක්‍රීඩා කළ ක්‍රීඩිකාවන් රැසක් තවමත් කණ්ඩායම තුළ රැදි සිටීම නිසා තමට කණ්ඩායම පුහුණු කිරීමට වඩාත් පහසු වනු ඇති බවයි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ තමා පුහුණුකරුවකු ලෙස ඕස්ට්‍රේලිවේදී ලබාගත් අත්දැකීම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලබාදෙමින් ඔවුන්ගේ දක්ෂතා ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බවයි. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් මෙන්ම දක්ෂ නවක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක්ද කණ්ඩායමට ඇතුළත්ව සිටිම නිසා මෙවර කණ්ඩායම සමබර තත්වයක පවතින බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත වන එක්දින තරගාවලියේ පළමු තරගය මේ මස 11 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එහි දෙවැන්න 13 වැනිදා එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය. තෙවැනි එක්දින තරගය 16 වැනිදා කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.