Last Update  :  2025-10-24 17:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකාව හමුවේ බංග්ලාදේශයට දැවැන්ත ජයක්

ශ්‍රී ලංකාව හමුවේ බංග්ලාදේශයට දැවැන්ත ජයක්

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 15 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලෙස ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩුබායි ක්‍රීඩාංගයේදී අද (15 වැනිදා) පැවැති තරගයේදී මුෂ්ෆිකුර් රහීම් ලබාගත් අනගි ශතකය හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 137 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට බංග්ලාදේශය සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 262 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 35.2 ක් අවසානයේ ලකුණු 124 කට සීමා කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ නායක මෂ්රෆී මොටාසා, මුස්තෆිසුර් රෙහෙමාන් සහ මෙහෙදි හසන් කඩුලු 2 බැගින් දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුණු කළහ. සකීබ් අල් හසන්, රුබෙල් හොසේන් සහ මොසද්දික් හොසේන්ද කඩුල්ල බැගින් දවාගනිමින් බංග්ලාදේශ කණ්ඩායමේ ජයග්‍රහණයට සිය දායකත්වය සැපයූහ.
 
පසු පෙළ පිතිකරුවන් වූ ඩිල්රුවන් පෙරේරා හයේ පහර 2 ක් සමග ලකුණු 29 ක්ද, සුරංග ලක්මාල් හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 20 ක්ද බැගින් රැස්කළද, ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට ඔවුන්ට නොහැකි වූහ. තරග දිනවිය හැකි ප්‍රවේගකාරී පිතිකරුවකු ලෙස නම් දරා සිටින තිසර පෙරේරාටද මෙම තරගයේදී සිය සුපුරුදු ක්‍රීඩා විලාශයට අවතීර්ණ වීමට නොහැකි වූ අතර මෙහෙදි හසන්ගේ පන්දුවක් හමුවේ රුබෙල් හොසේන් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට ඔහු ලබා සිටියේ ලකුණු 6 ක් පමණි.

ඇන්ජලෝ මැතිව්ස් (16) සමග එක්ව ශ්‍රී ලංකා ඉනිමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 41 කදී ලකුණු 22 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට දසුන් ශානක (7) සමත් වුවද, දුවද්දී දැවී යෑමකට හසුවෙමින් ඔහු දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්විය. ශානකගේ දැවී යෑමෙන් පසු ශ්‍රී ලංකා ලකුණු පුවරුවට තවත් 3 ක් එක්වන විට මැතිව්ස්ද දැවී ගියේ රුබෙල් හොසේන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමිනි.

දහවැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී විනිසුරුවරයා ලබාදුන් වැරදි තීරණයක් හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිමේ සිවුවැනි කඩුල්ලත් බිඳ වැටිණ. ලකුණු 11 ක් ලබා සිටියදී මෙහෙදි හසන්ගේ පන්දුවක් හමුවේ කුසල් පෙරේරා කඩුල්ල මුවා කළ බවට විනිසුරුවරයා සංඥ්ඥා කළද, එම සිදුවීමේ පුනුරූපණ නිරීක්ෂණය කිරීමේදී පෙනී ගියේ පන්දුව කුසල්ගේ පාදයේ වැදීමට පෙර ඔහුගේ පිත්තේ දාරයේ වදින බවයි. ඒ වන විට ලබාගැනීමට විනිසුරු තීරණ විමසීමේ අවස්ථාවක් නොමැතිවීම නිසා තමා නොදැවුණ ක්‍රීඩකයකු බව දැන දැනම කුසල්ට පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය.

පන්දු 16 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 27 ක් රැස්කරමින් වේගවත් ආරම්භයක් ලබාගත් උපුල් තරංග දැවී ගියේ පිත්තේ ඇතුළත දාරයේ වැදුණ මෂ්රෆී මොටාසාගේ පන්දුවක් කඩුල්ල වෙත ඇදී ඒමෙනි. තරංග එක්දින තරගයකදී මොටාසාගේ පන්දුවක් හමුවේ දැවී ගිය 6 වැනි අවස්තාව ලෙස එය සටහන් විය.

මෂ්රෆී මොටාසාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරද හසුවෙමින් ධනංජය ද සිල්වාද, මුස්තෆිසර් රෙහෙමාන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරද හසුවෙමින් කුසල් මෙන්ඩිස්ද ලකුණු නොළබාම ආපසු ගොස් ක්‍රීඩාගාරයේ අසුන් ගත්හ. කුසල් දැවී ගියේ ඔහු මුහුණදුන් පළමු පන්දුවේදීම වන අතර ධනංජය දැවී ගියේ ඔහු මුහුණදුන් තෙවැනි පන්දුවේදීය. තමාගේ දැවී යාම විනිසුරු තීරණ විමසීමේ ක්‍රමයට යොමු කිරීමට ධනංජය පියවර ගැනීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට තිබූ එකම විනිසුරු තීරණ විමසීමේ අවස්ථාවද අහිමිව ගියේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ඕවර 49.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 261 ක් ලබාගත්තේය. බංග්ලාදේශ ඉනිමේ කොඳු නාරටිය බවට පත්වූ මුෂ්ෆිකුර් රහීම් (144), එහිදී සිය 6 වැනි එක්දින ශතකය ලබාගත්තේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 11 ක් සමගිනි. එය රහීම් එක්දින තරගයකදී ලබාගත් වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා අතරට එක්විය. ශතකය ලබාගැනීමේන් අනතුරුව ප්‍රවේගකාරී පිතිහරඹයක නිතර වූ රහීම් අවසන් ඕවර කිහිපයේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට එළවා එළවා පහර දෙමින් පිටිය පුරා ලකුණු රැස්කළේය.

එක් ලකුණකට කඩුලු 2 ක් බිඳවැටී තිබූ අවස්ථාවේ පස්වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි මොහොමඞ් මිතුන් සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 141 කදී ලකුණු 131 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට රහීම් සමත් විය. පන්දු 68 කදී මුහුණදුන් මිතුන් සිය මංගල අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් අලංකාර කළේය. බංග්ලාදේශ ඉනිමේ 26 වැනි ඕවරය යැවීම සඳහා කැඳවූ ලසිත් මාලිංග, තෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව බිඳ දැමුවේ කඩුලු රකින ක්‍රීඩක කුසල් පෙරේරාගේ සහායද ඇතිවය.

එතැන් පටන් බංග්ලාදේශ ලකුණු පුවරුවට තවත් ලකුණු 8 ක් එක්වන විට මහමදුල්ලා රියාද් සහ මොසෙද්දික් හොසේන්ද එක් ලකුණ බැගින් ලබා සිටියදී අමිල අපොන්සුගේ සහ ලසිත් මාලිංගගේ පන්දු හමුවේ දැවී ගියේ ධනංජය ද සිල්වා සහ කුසල් පෙරේරා අතට උඩ පන්දු ලබා දෙමිනි.

කෙසේ වුවත් පසු පෙළ පිතිකරුවන් සමග එක්ව ක්‍රමක්‍රමයෙන් ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කළ රහීම් බංග්ලාදේශ කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 250 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියේය. එහිදී කැපී පෙනෙන සිදුවීම වූයේ දෙවැනි ඕවරයේදී සුරංග ලක්මාල් යැවූ පන්දුවක් අතේ වැදීම නිසා ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්ව ගිය ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල්, 9 වැනි කඩුල්ල බිඳ වැටීමෙන් අනතුරුව නැවතත් පිටියට පැමිණ සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා රහීම්ට සහාය දීමය.

මුල් ඕවර 10 නිමාවන විට ලකුණු 24 ක් පමණක් ලබා සිටි බංග්ලාදේශ පිතිකරුවෝ 11 වැනි ඕවරයේ සිට ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කළහ. අමිල අපොන්සු යැවූ එම ඕවරයේදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග බංග්ලාදේශ පිතිකරුවන් රැස්කළ ලකුණු සංඛ්‍යාව 12 කි. ඉනිමේ 15 වැනි ඕවරය යැවීම සඳහා ඩිල්රුවන් පෙරේරා කැඳවූ අතර එම ඕවරයේ පිට පිට පන්දු 3 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 14 ක් රැස් කිරීමට මොහොමඞ් මිතුන් සමත් විය.

පළමු ඕවරයේ පස්වැනි පන්දුවේදී ආරම්භක පිතිකරු ලිටන් දාස් පිටියෙන් ඉවත් කළ ලසිත් මාලිංග, එම ඕවරයේම අවසන් පන්දුවේදී සකීබ් අල් හසන්ගේ කඩුල්ලද බිඳ දමමින් බංග්ලාදේශ කණ්ඩායම අසීරු තත්වයකට ඇද දැමුවේය. පිට ඉන්නෙන් ඉවතට ඇදී ගිය පන්දුවක් පිත්තේ පිටත දාරයේ වැදී ස්ලිප්හි පන්දු රකිමින් සිටි කුසල් මෙන්ඩිස් අතට පත්වීම නිසා ලිටන් දාස් දැවී ගිය අතර සකීබ් අල් හසන් දැවී ගියේ මාලිංගගේ වේගවත් යෝකර් පන්දුවක් හරි හැටි අවබෝධ කරගැනීමට නොහැකි වීමෙනි. ඔවුන් දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරය බලා ගියේ එකදු ලකුණක් හෝ නොලබාය.

එක්දින තරගයක පළමු ඕවරය තුළදී කඩුලු 2 ක් හෝ 2 කට වැඩි සංඛ්‍යාවක් දැවී ගිය දුර්ලභ අවස්ථාවක් ලෙස මෙය වාර්තා අතරට එක්වූ අතර මින් පෙර අවසන් වරට එවන් අවස්ථාවක් සටහන් වී තිබුණේ වසර 15 කට ඉහතදීය. 2003 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති තරගයේ පළමු ඕවරයේදී කඩුලු 4 ක් දවාගනිමින් චමින්ද වාස් එම වාර්තාව පිහිටුවා තිබිණ.

මොහොමඞ් මිතුන් එක් ලකුණක් ලබා සිටියදී මාලිංගගේ පන්දුවක් හමුවේ දුන් උඩ පන්දුවක් මිඞ් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි නායක ඇන්ජලෝ මැතිව්ස් අතින් ගිළිහී ගියේය. එම ඕවරයේම අවසන් පන්දුවේදී මොහොමඞ් මිතුන් නැවතත් ෆයින් ලෙග් කළාපයට උඩ පන්දුවක් ලබාදුන් නමුත් එහි පන්දු රකිමින් සිටි අමිල අපොන්සු එම උඩ පන්දුව රැකගැනීමට අපොහොසත් විය. ඒ සමගම මිතුන්ට තවදුරටත් පිටියේ රැදී සිටීමට අවස්ථාව උදා වූ අතර මාලිංගගේ එම පන්දුව නිපන්දුවක් ලෙස විනිසුරුවරයා සංඥ්ඥා කිරීමත් සමග බංග්ලාදේශ කණ්ඩායමට නිදහස් පහරක්ද හිමිවිය.

බංග්ලාදේශ ඉනිමේ 10 වැනි ඕවරය යැවීම සඳහා කැඳවූ තිසර පෙරේරා එම ඕවරය ලකුණු 2 කට සීමා කිරීමට සමත් වුවද, එම ඕවරයේ තෙවැනි පන්දුවේදී ලකුණු 10 ක් ලබා සිටියදී මුෂ්ෆිකුර් රහීම් ලබාදුන් පහසු උඩ පන්දුවක් ස්කුවෙයාර් ලෙග්හි පන්දු රකිමින් සිටි ඩිල්රුවන් පෙරේරා අතින් ගිළිහී ගියේ ශ්‍රී ලංකා පන්දු රකින්නන්ට උඩ පන්දු අත්හරින හැටි යළිත් මතක් කර දෙමිනි.

මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සහ පිට දඟ පන්දු යවන ක්‍රීඩක ඩිල්රුවන් පෙරේරා කැඳවා සිටියහ. මාලිංග එක්දින තරගයකට සහභාගි වන්නේ වසරකට පමණ පසුව වන අතර ඩිල්රුවන් එක්දින තරගයකට සහභාගි වන්නේ වසරක එකහමාරකට පමණ පසුවය.

තිස්පස් හැවිරිදි ලසිත් මාලිංග, අවසන් වරට එක්දින ජාත්‍යතන්තර තරගයකට ක්‍රීඩා කර ඇත්තේ මීට වසරකට පෙර එනම් 2017 වසරේ සැප්තැම්බර් මාසයේදීය. මේ වන විට 36 වැනි වියේ පසුවන ඩිල්රුවන් පෙරේරා, අවසන් වරට එක්දින ජාත්‍යතන්තර තරගයට සහභාගි වූයේ 2017 වසරේ අප්‍රේල් මාසයේදී බංග්ලාදේශයට එරෙහිවය.

 

 

ශ්‍රී ලංකා - බංග්ලාෙද්ශ අාසියානු කුසලාන තරගයේ විශේෂ අවස්ථා...


- 036

 


අදහස් (1)

ශ්‍රී ලංකාව හමුවේ බංග්ලාදේශයට දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.