ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා තෝරා ගන්නා ලද ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා ඇමතිවරයාගෙන් ප්‍රතික්ෂේප වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ. මෙම කණ්ඩායමට අයත් ක්‍රීඩකයින් 10 දෙනෙකු ඉන්දියාව බලා පිටත්ව යාම පිණිස ඊයේ (4 වැනිදා) රාත්‍රියේ ගුවන්තොටුපොළ වෙත ගියද ඔවුන් සියලු දෙනාටම ආපසු හැරී සිය නිවෙස් බලා යාමට සිදුවිය.
ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතියකින් තොරව මෙම ක්‍රීඩකයන් ඉන්දියාව බලා පිටත්ව යාමට සූදානම් වීම හේතුවෙන් ඔවුන්ට නැවතත් සිය නිවෙස් කරා යාමට සිදුවී ඇති බව වාර්තාවේ.
එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගීවන කණ්ඩායම තෝරා ගෙන දින කිහිපයක් ගතවූ නමුත් ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා වෙත එම සංචිතය පිළිබඳ විස්තර ලැබී තිබුණේ ඊයේ (4 වැනිදා) සවස 5.30 න් පසුව බවද වාර්තාවේ. අමාත්‍යවරයාට දන්වා යවා ඇති පරිදි කණ්ඩායම තෝරගනු ලැබ ඇත්තේ මේ මස 1 වැනිදාය.
ඉතාමත් විශ්වාස කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවන පරිදි තේරීම් කමිටු නිලධාරීන්ගේ නිර්දේශය වී ඇත්තේ ක්‍රීඩකයන් 15 දෙනකු සහ අතිරේක ක්‍රීඩකයන් සිවු දෙනෙකි. එසේ වුවත් ක්‍රීඩා අමාත්‍යවරයාට යැවූ ලිපියේ එක්දින කණ්ඩායම සඳහා ක්‍රීඩකයන් 16 දෙනකුගේ නම් ඇතුළත් වී තිබේ. මෙම හේතුව නිසා 1 වැනිදා තෝරා ගන්නා ලද සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමට බොහෝ දුරට ඉඩකඩ ඇතැයි වාර්තා වේ.
සාමාන්‍යයෙන් ක්‍රීඩා ඇමතිවරයා විසින් කණ්ඩායමකට අනුමැතිය දෙනු ලබන්නේ කණ්ඩායමේ නායකයා සහ ක්‍රීඩා අමාත්‍යංශයේ වෛද්‍ය කණ්ඩායම සමගින් සාකච්ඡා කිරීමෙන් පසුවය. එහිදී ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතා පිළිබඳ වර්තාද සලකා බැලේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.