Last Update  :  2025-08-25 20:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඕස්ට්‍රේලියාවට ඉනිමක ජයක්

ඕස්ට්‍රේලියාවට ඉනිමක ජයක්

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 40 කින් පරාජය කළ ඕස්ට්‍රේලියානුවෝ තරග දෙකකින් සමන්විත තරගාවලියේදී 1-0 ක් ලෙස පෙරමුණ ගත්හ. දිවා/රාත්‍රී තරගයක් වූ මෙම තරගයේ තුන්වැනි දිනය වන අද (26 වැනිදා) රාත්‍රී ආහාර විවේකයටත් පෙරම තරගය නිමා වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිමේදී ලකුණු 139 කට දැවී ගිය බැවිනි.

 

පාදයේ කලව පිටුපස මස්පිඬුවේ ආබාධයකට ලක්ව සිටින ළහිරු කුමාර අද පන්දුවට පහරදීමට පැමිණියේ නැත.
දෙවැනි දිනය වූ ඊයේ (25 වැනිදා) කඩුල්ලක් දැවී ලකුණු 17 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට අද අලුතින් එක්කරගත හැකි වූයේ තවත් ලකුණු 122 ක් පමණි. තරගයක් දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට තිබූ හොඳම අවස්ථාව නායක දිනේෂ් චන්දිමාල් සහ කුසල් මෙන්ඩිස් දෙදෙනාගේ දැවී යාමෙන් පසුව ගිළිහී ගියේය.

පිට පිට ඕවර දෙකකදී මෙම පිතිකරුවන් දෙදෙනාම පැට් කමින්ස්ගේ කඩුලු බවට පත්විය. රොෂේන් සිල්වාටද (3) වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට කමින්ස් ඉඩ  දුන්නේ නැත.

දෙවැනි දිනයේ අවසන් පන්දුවේදී දිමුත් කරුණාරත්න පිටියන් ඉවත් කළ ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නා පන්දු 5 ක් ඇතුළතදී චන්දිමාල් සහ කුසල් මෙන්ඩිස් දෙදෙනාම පිටියෙන් ඉවත් කරමින් ලකුණු පුවරුව 19 කට කඩුලු 3 ක් ලෙස වෙනස් කළේය.

හිතුවක්කාර පහර කීපයක්ම ගැසීමට උත්සාහ කළ නිරෝෂන් දික්වැල්ල ලකුණු 24 ක් ලබාගත් නමුත් එය කිසි සේත්ම ටෙස්ට් ඉනිමක් නොවීය. නිරෝෂන් දික්වැල්ල මෙන්ම ඩිල්රුවන් පෙරේරාත් පිටියෙන් ඉවත් කිරීමට ඕස්ට්‍රේලියානුවන් රැකගත් උඩපන්දු කලකට අමතක නොවන අති විශිෂ්ට උඩපන්දු බව නම් කිය යුතුමය.

කමින්ස්ගේ පස්වැනි කඩුල්ල වූ ළහිරු තිරිමාන්න පිටියෙන් ඉවත් වූයේ තුන්වැනි විනිසුරුවරයාගේ තීරණයකින් වුවත් ඔහුගේ දැවීයාම සාධාරණීකරණය කිරීම අසීරු විය. පැයකට ආසන්න කාලයක් කඩුල්ලේ රැදී සිටි ධනංජය ද සිල්වාද (14), තේ පානය සඳහා තරගය නතර කිරීමට මඳ වේලාවකට පෙර ජායි රිචඞ්සන්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීම නිසා ආපසු ගොස් ක්‍රීඩාගාරයේ අසුන් ගත්තේය.

තේ පානයෙන් පසුව අවසන් කඩුලු පහ දවාගැනීම සඳහා ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට එතරම් කාලයක් අවශ්‍ය නොවීය.

සිය හොඳම ටෙස්ට් පන්දු යැවීම වාර්තා කළ පැට් කමින්ස්ගේ (23/6) දස්කම් හේතුවෙන් තරගය නිමා කිරීමට ඕස්ට්‍රේලියානුවන්ට අවශ්‍ය වූයේ දින දෙක හමාරක් පමණි. එය මෙවර ඕස්ට්‍රේලියානු ගිම්හානයේ දෙවැනි ටෙස්ට් ජය වූ අතරම ඉන්දියානුවන් හමුවේ ලද 3-1 තරගාවලි පරාජයට මඳ අස්වැසිල්ලක්ද විය.

ජායි රිචඞ්සන් ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු දෙකට වගකීමත් සමගම 1988 න් මෙපිට ගැබා ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරගයක් පරාජය නොවීමේ වාර්තාව තව දුරටත් රැකගැනීමටද ඕස්ට්‍රේලියානුවන්ට හැකිවිය.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දෙවැනි ටෙස්ට් තරගය පෙබරවාරි මස 1 වැනිදා කැන්බරාහි මනුකා ඕවල් පිටියේදී ආරම්භ වේ.

 


-036

 


අදහස් (0)

ඕස්ට්‍රේලියාවට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.