Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියානු යොවුන් කාන්තා පිලට එරෙහිව රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (24 වැනිදා) පැවැති තුන්වැනි විස්සයි-20 තරගයේදීත් ශ්‍රී ලංකා යොවුන් කාන්තාවෝ කඩුලු 6 ක පහසු ජයක් අත්කරගත්හ. කිසිදු අපහසුතාවකින් තොරවම පළමු තරග දෙකත් ජයගෙන සිටි ශ්‍රී ලංකා යොවුන් කාන්තාවෝ තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ තරග දෙකක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජයගනිමින් 3-0 ක් ලෙස ඉදිරියෙන් සිටිති.
වර්ෂාවෙන් බාධා ඇතිවීම හේතුවෙන් තරගයේ ආරම්භය ප්‍රමාද වූ අතර තරගය ඕවර 16 කට සීමා කෙරිණ.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු යොවුන් කාන්තාවෝ ඕවර 16 කදී ලබාගත් ලකුණු 100 ට එමිලි පවෙල් (32) සහ ලුසී ෆින් (31) දෙදෙනාගෙන් යම් තරමක දායකත්වයක් ලැබුණු නමුත් කණ්ඩායමේ තුන්වැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ 12 කි. ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නියන්ද තරමක ප්‍රහාරයට ලක්විය. ඒ අතරවාරයේදී අසේනි තලගුණේ සහ ලිමන්සා තිලකරත්න කඩුල 2 ක් බැගින් දවාගත්හ.
සංජනා කාවින්දි සහ විමෝක්‍ෂා බාලසූරිය දෙදෙනාගෙන් ශ්‍රී ලංකා යොවුන් පිලට සාර්ථක ආරම්භයක් ලැබුණු අතර ඔව්හු පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 35 කදී ලකුණු 49 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. විමෝක්‍ෂාගේ දැවීයාමෙන් පසුවද සිය නිර්භීත පිතිහරඹය දිගටම කරගෙන ගිය සංජනා කාවින්දි පන්දු 36 කින් ලබාගත් ලකුණු 36 ට හතරේ පහර 5 ක් ඇතුළත් විය.
සංජනාගේ දැවීයාමෙන් පන්දු 3 කට පසුව තවත් කඩුල්ලක් බිඳ වැටුණ නමුත් නායක මනුදි නානායක්කාරට එක්වූ ශෂිනි ගිම්හානි, ප්‍රහාරාත්මක පිතිහරඹයක යෙදෙමින් පන්දු 10 කින් ලකුණු 17 ක් ලබාගත්තේ පන්දු 5 ක් ඉතිරිව තිබියදී තරගය අවසන් කරමිනි. ශෂිනි ගිම්හානි හයේ පහරකින් සහ හතරේ පහරකින් ද සිය පිතිහරඹය අලංකාරවත් කළාය.
ඕස්ට්‍රේලියානු යොවුන් කාන්තා කණ්ඩායම - ඕවර 16 කදී කඩුලු 6 ට 100 යි
(එමිලි පවෙල් 32, ඊවා බෙයාර්ඩ් 12, ලුසී ෆින් 31, අසේනි තලගුණේ 25/2, ලිමන්සා තිලකරත්න 20/2)
ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම - ඕවර 15.1 කදී කඩුලු 4 ක් දැවී 101 යි
(සංජනා කාවින්දි 36, විමෝක්‍ෂා බාලසූරිය 25, නෙතඟි ඉසුරාංජලී 11, ශෂිනි ගිම්හානි නොදැවී 17, ලිලී හැමිල්ටන් 16/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.