Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වනිඳුලාගේ බැංගලෝර් පිල අවසන් වටයට
අයි.පී.එල්.- 2022

වනිඳුලාගේ බැංගලෝර් පිල අවසන් වටයට

editorial - 2022 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙවර (2022) ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබාගත් සිවුවැනි සහ අවසන් කණ්ඩායම බවට වනිඳු හසරංග ක්‍රීඩා කරන රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පත්විය. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (21 වැනිදා) පැවැති තරගයේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජය වීමත් සමග බැංගලෝර් කණ්ඩායමට අවසන් වටයට පිවිසීමේ අවස්ථාව උදා විය.

ඒ අනුව කඩුලු 24 ක් ලබා මේ වන විට තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන වනිඳුට එහි පෙරමුණට පැමිණීමට තවත් අවස්ථාවක් හිමිවනු ඇත. කඩුලු 26 ක් දවාගෙන සිටින යුස්වේන්ද්‍ර චාහල් එම ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටියි. මෙම ක්‍රීඩකයන් දෙදෙනාම ක්‍රීඩා කරන කණ්ඩායම් අවසන් වටයට සුදුසුකම් ලබා සිටින බැවින් එහිදී ඔවුන් අතර දම් පැහැති හිස්වැසුම සඳහා ඉතා තියුණු තරගයක් බලාපොරොත්තු විය හැකිය.  

අවසන් වටයේදී බැංගලෝර් කණ්ඩායම ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවන ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව 25 වැනිදා පිළිමළුන් පිටුදැකීමේ තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය. එම තරගයෙන් ජය ගැනීමට සමත් වුවහොත් ඔවුන්ට 27 වැනිදා පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාවද උදාවනු ඇත.
 
ගුජරාට් ලයන්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගය 24 වැනිදා පැවැත්වෙන අතර ඉන් ජය ලබන කණ්ඩායම ඍජුවම අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබනු ඇත. එම තරගයෙන් පරාජයට පත්වන කණ්ඩායමට පිළිමළුන් පිටුදැකීමේ තරගයේ ජයග්‍රහකයන්ට එරෙහිව දෙවැනි අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමට සිදුවනු ඇත.

තරග 70 කින් සමන්විත වූ මූලික වටයේ අවසන් තරගය සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම අතර අද (22 වැනිදා) පැවැත්වීමට නියමිතය. කණ්ඩායම් දෙකම මේ වන විටත් තරගාවලියෙන් ඉවතට විසි වී ඇති බැවින් එම තරගයේ ප්‍රතිඵලය කුමක් වුවත් ඉන් අවසන් වටයට සුදුසුකම් ලබා සිටින කණ්ඩායම්වලට කිසිදු බලපෑමක් සිදුනොවනු ඇත.

මෙවර අවසන් වටයට සුදුසුකම් ලබා සිටින කණ්ඩායම් 4 අතරින් මින් පෙර අයි.පී.එල්. ශූරතාවක් දිනා ඇත්තේ රාජස්ථාන් කණ්ඩායම පමණි. 2008 වසරේදී පැවැති සමාරම්භක අයි.පී.එල්. තරගාවලියේදී ෂේන් වොන්ගේ නායකත්වය යටතේ රාජස්ථාන් කණ්ඩායම එම ශූරතාවට හිමිකම් කීවේය.

බැංගලෝර් කණ්ඩායම 2009 වසරේදී අනිල් කුම්බල්ගේ නායකත්වය යටතේද, 2011 වසරේදී ඩැනියෙල් විටෝරිගේ නායකත්වය යටතේද, 2016 වසරේදී විරාට් කෝලිගේ නායකත්වය යටතේද අයි.පී.එල්. අනු ශූරයන් බවට පත්ව තිබේ. ගුජරාට් සහ ලක්නව් කණ්ඩායම් තරගාවලියට ඇතුළත් වූයේ මෙම වසරේදීය.

තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය සහ පිළිමළුන් පිටුදැකීමේ තරගය කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර දෙවැනි අවසන් පූර්ව තරගය සහ අවසන් මහ තරගය (29 වැනිදා) පැවැත්වීමට නියමිතව ඇත්තේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදීය.

 


 

 

-036

 


අදහස් (0)

වනිඳුලාගේ බැංගලෝර් පිල අවසන් වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.