Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය ගාල්ල ක්‍රීඩාංගණයේ සිට...)
සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වන ප්‍රභාත් ජයසූරිය (90/3), වෙහෙසකර පන්දු යැවීමක නිරත වෙමින්, එක දිගට ඕවර 16 ක් යවා කඩුලු 3 ක් දවාගත්තේය. එහෙත් අලංකාර ශතක දෙකක් ලබාගත් මානස් ලැබුෂේන් (104) සහ ස්ටීවන් ස්මිත් (නොදැවී 109) දෙදෙනා ගාල්ලේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන් වන විට ගෞරවනීය ස්ථානයක් කරා ඕස්ට්‍රේලියාව ඔසවා තැබූහ.
වෝන් - මුරලි කුසලාන තරගාවලියේ දෙවැනි තරගය වන මෙම තරගයේ පළමු දිනයේ ක්‍රීඩාව අද (08 වැනිදා) සවස නතර කරන විට ඕස්ට්‍රේලියානුවෝ කඩුලු 5 ක් දැවී ලකුණු 298 ක් ලබා සිටියහ. මෙම ලකුණු සංඛ්‍යාවෙන් 71.47 % ක ප්‍රමාණයක් ස්මිත් සහ ලැබුෂේන් ලබාගත් ඒවාය.
ලැබුෂේන් සමගින් එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 134 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ස්මිත්, විනාඩි 269 ක් පුරා සිය කඩුල්ල ආරක්ෂා කරගනිමින් පන්දු 212 කට මුහුණ දී ඒවායින් 14 ක් හතරේ සීමාවෙන් එපිටට යැවීය.
වසර 2004 දී පැවැති ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර පැවැති ටෙස්ට් තරගාවලියෙන් පසුව කිසිම ඕස්ට්‍රේලියානු පිතිකරුවකු ගාල්ල ක්‍රීඩාංගණය්දී ශතකයක් ලබාගෙන නොතිබිණ. මුත්තයියා මුරලිදරන් මෙන්ම ෂේන් වෝන් ද ක්‍රීඩා කළ 2004 ටෙස්ට් තරගයේදී මැතිව් හේඩ්න් (130), ඩේමියන් මාටින් (110) සහ ඩැරන් ලීමන් (129) තිදෙනාම ශතක ලබාගත්හ. මුරලිදරන් සහ වෝන් දෙදෙනාම කඩුලු 10 ක් බැගින් ලබාගත්හ.
ප්‍රභාත් ජයසූරිය සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා අද දිනයේ බිඳවැටුණු කඩුලු 5 න් 4 ක හිමිකරුවන් වූ නමුත්, ඕස්ට්‍රේලියානුවෝ ඔවුන් දෙදෙනාගෙන් ලකුණු 190 ක් උදුරාගත්හ.
ප්‍රභාත්ගේ පන්දුවක් හමුවේ තම සීමාවෙන් ඉදිරියට පැමිණි ලැබුෂේන්, පන්දුවේ තිබූ දඟකැවීම හේතුවෙන් සම්පූර්ණයෙන්ම පරාජය වූයේය. සැණෙකින් පන්දුව අල්ලා ගත් නිරෝෂන් දික්වැල්ල කඩුල්ල බිඳ දැමුවේ, පිතිකරුවා ලකුණු 28 ක් ලබා සිටියදී තමාගෙන් සිදුවූ අතපසුවීමට සැනසිල්ලක් ගෙනෙමිනි.
ලකුණු 79 දී තුන්වැනි කඩුල්ල බිම දමාගත හැකිව තිබුණද නිරෝෂන් දික්වැල්ල වෙතින් ඉතාම පහසු ස්ටම්ප් කිරීමේ අවස්ථාවක් ගිළිහී ගියේය. ඒ වන විට ලැබුෂේන් ලබා සිටියේ ලකුණු 28 ක් පමණි.
ඕස්ට්‍රේලියානු ඉනිම ආරම්භයේ සිට දිවා ආහාරය දක්වාම එක දිගට පන්දු ඕවර 15 ක් යැවූ රමේෂ් මෙන්ඩිස් දිවා ආහාරයට පෙර ලකුණු 49 කට කඩුල්ලක් දවාගත්තේය. දික්වැල්ලට ස්ටම්ප් කිරීම සාර්ථක කරගත හැකිවූයේ නම් ලැබුෂේන්ගේ කඩුල්ලත් මෙන්ඩිස්ටම දවාගත හැකිව තිබුණ නමුත් දිවා ආහාරයෙන් පසුව ඕවර 13 ක් යැවූ මෙන්ඩිස්ට දෙවැනි කඩුල්ල දවාගත නොහැකි විය.
ලැබුෂේන්ගේ හත්වැනි ටෙස්ට් ශතකයත් සමගින් ඕස්ට්‍රේලියානුවෝ ලකුණු 200 කඩයිම පසුකළහ. ලකුණු 94 දී දිගු වේලාවක් රැඳී සිටි ලැබුෂේන් සිය ශතකය සඳහා පන්දු 147 කට මුහුණ දුන් අතර ඒවායින් 12 ක් හතරේ සීමාවෙන් එපිටට යවා තිබිණ.
දෙවැනි ටෙස්ට් තරගය සඳහා කදිම ආරම්භයක් ලබාගත් කසුන් රාජිත, තම තුන්වැනි ඕවරයේදීම ඩේවිඩ් වෝනර් දවාගත්තේය. පන්දු කිහිපයකින්ම වෝනර් අපහසුතාවට පත්කරමින් සිටි කසුන් රාජිත, තම තුන්වැනි ඕවරයේදී වෝනර්ගේ ඉනිම ලකුණු 05 කට සීමා කළේය. දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 55 ක් වන විට රමේෂ් මෙන්ඩිස් යැවූ ඉතාම හොඳ පන්දුවකින් උස්මන් කවාජා ලකුණු 37 කට දැවී ගියේය. පිට ඉන්න එල්ලයේ පතිත වූ පන්දුව, පිතිකරුවාගේ පිත්ත පරයමින් ගොස් පිට ඉන්නේ වදින විට කවාජා ලබා සිටියේ ලකුණු 37 කි.
කමිඳු මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය සහ මහීෂ් තීක්ෂණ අද තම තමන්ගේ මංගල ටෙස්ට් හිස්වැස්ම ලැබූහ. දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න සහ නවීඩ් නවාස් මෙම ක්‍රීඩකයන්ට ටෙස්ට් හිස්වැසුම් පිරිනැමූහ. ධනංජය ද සිල්වාගේ ස්ථානයට කැඳවූ කමිඳු මෙන්ඩිස් මැද පෙළ පිතිකරුවෙකි. ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමේ හිටපු නායකයාද වන කමිඳු මෙන්ඩිස්, පළමු පෙළ තරග 23 කදී, ශතක 6 ක් සහ අර්ධ ශතක 12 ක් සමගින්, ලකුණු 2074 ක් ලබා සිටී. කමිඳු මෙන්ඩිස්ගේ පළමු පෙළ ඉනිමක ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 61.00 කි.
වමත් දඟ පන්දු යවන්නා ලෙසින් 30 හැවිරිදි ප්‍රභාත් ජයසූරිය කණ්ඩායමට කැඳවා තිබේ. එස්.එස්.සී. පිල නියෝජනය කරන ප්‍රභාත් ජයසූරිය පළමු පෙළ කඩුලු 234 ක හිමිකරුවෙකි.
මහීෂ් තීක්ෂණ තවමත් 21 හැවිරිදි ක්‍රීඩකයකු වන නමුත් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 9 ක් සහ විස්සයි-20 තරග 18 ක් ක්‍රීඩා කර තිබේ. එහෙත් වසර 4 කින් පළමු පෙළ තරගයකට ක්‍රීඩා කර නැති මහීෂ් තීක්ෂණ, මෙතෙක් ක්‍රීඩා කර ඇත්තේ පළමු පෙළ තරග 3 කට පමණි.
(ඡායාරූප - ගයාන් අමරසේකර)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.