ලෝකයේ පැරණිතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගණය වන මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරුව ටෙස්ට් තරග සඳහා තිබිය යුතු මට්ටමට වඩා ‘දුර්වල’ බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව කියයි. එංගලන්තය සහ ඕස්ටේ්‍රලියාව අතර පැවැත්වෙන අළු බඳුන තරගාවලියේ සිවුවැනි තරගය පැවැතියේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩංගණයේදීය.
මෙම තරගයේදී දෙපිලේම පිතිකරුවන් විශාල ලෙසින් ලකුණු ලබාගත් අතර පන්දු යවන්නන්ට කිසිම ආකාරයේ වාසියක් නොවූයෙන් තරගය ජය පරාජයෙන් තොරව නිමා විය. තරගයෙන් අනතුරුව දෙපිලේම නායකයන් කියා සිටියේ මෙල්බර්න් තණතීරුවෙන් පන්දු යවන්නන්ට කිසිම ආකාරයේ සහයෝගයක් නොලැබුණු බවයි.
ටෙස්ට් තරගයක ජයග්‍රහණයක් සඳහා අවම වශයෙන් කඩුලු 20 කට වැඩි සංඛ්‍යාවක් බිඳ වැටිය යුතු නමුත් මෙම තරගයේදී දෙපිලේම දැවී ගිය පිතිකරුවන් ගණන 24 කි. දින පහක් පුරා රැස්කරගන්නා ලද ලකුණු සංඛ්‍යාව 1081 කි. අළු බඳුන තරගාවලියේදී 5-0 ක ජයක් අපේක්‍ෂා කරමින් සිටි ඕස්ටේ්‍රලියානුවන්ගේ බලාපොරොත්තු බිඳ වැටුණේද මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ බැවිනි.
“මේ තණතීරුවේ පන්දුව ඉපිලීම තිබුණේ අඩුත් නැති වැඩිත් නැති මට්ටමේ. ඒත් තණතීරුව ඉතාමත් මන්දගාමීයි. තරගයේ දින ගතවී යත්ම තණතීරුව එන්න එන්නම මන්දගාමී වුණා” යයි මෙම තරගාවලියේ තීරකවරයා වශයෙන් කටයුතු කරන ශ්‍රී ලංකා පිලේ හිටපු නායක රන්ජන් මඩුගල්ලේ මහතා සිය වාර්තාවේ සටහන් කර තිබිණ.
“තණතීරුවේ ස්වභාවය දිනෙන් දින වෙනස් වුණේ නෑ. ස්වභාවික වෙනස්වීම එහි තිබුණේ නෑ...ඒ නිසා මේ තණතීරුවේදී පන්දුවත් පිත්තත් අතරේ සාධාරණ තරගයකට අවස්ථාවක් තිබුණේ නෑ. එයින් පිතිකරුවන්ට විශාල වාසියක් ලැබුණේ නැති නමුත් පන්දු යවන්නන්ටත් සාධාරණ අවස්ථාවක් ලැබුණේ නෑ” යයිද රන්ජන් මඩුගල්ල මහතාගේ වාර්තාවේ සටහන් වී තිබිණ.
මේ සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාර දැක්වීම සඳහා ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් ආයතනයට සති දෙකක කාලයක් දී තිබේ. කෙසේ වෙතත් තමන්ගේ ක්‍රීඩාංගණයකට එල්ල වී තිබෙන චෝදනාව ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් බලධාරීහු මහත් සන්තාපයට පත්ව සිටිති.
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නවතම නීති රීති අනුව කිසියම් ක්‍රීඩාංගණයක තණතීරුවක් හෝ හතරේ සීමාව ඇතුළත ටෙස්ට් තරගයකට සුදුසු මට්ටමේ නොවේ නම් එම ක්‍රීඩාංගණ වලට අගති ලකුණු සටහන් කෙරේ. මෙම අගති ලකුණු 5 ක් එක්වූ කල්හි එම ක්‍රීඩාංගණයේ අන්තර්ජාතික තරග පැවැත්වීම වසරකට තහනම් කෙරේ.
මෙල්බර්න් ක්‍රීඩාංගණයේ ඇත්තේ ස්වභාවික තණතීරුවක් නොවේ. එහි ඇත්තේ කලින් කලට ගෙනැවිත් ගොඩබානු ලබන තණතීරුවකි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.