Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මම අඩු පාඩු දකින විධිය තරමක් වෙනස්

මම අඩු පාඩු දකින විධිය තරමක් වෙනස්

editorial - 2021 ඔක් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 (ශානුක අරවින්ද සාජා සිට..)

 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග අවසානයේ යළිත් ශ්‍රී ලංකාවට පැමිණියද,  තාක්ෂණික ක්‍රමෝපායන් ඔස්සේ දිගින් දිගටම තමා කණ්ඩායම සමග සම්බන්ධතාව පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වන බව උපදේශකවරයකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වූ මහේල ජයවර්ධන මහතා පවසයි. නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරගයෙන් අනතුරුව ඔහු කණ්ඩායම රැදී සිටි ජෛව බුබුලෙන් ඉවත්ව ශ්‍රී ලංකාව බලා පිටත්ව ගියේය.

“ජූනි මාසයේ ඉදන් දින 135 ක කාලයක් මම ‍නිරෝධායනය වෙමින් ‍සහ ජෛව බුබුළුවලට ඇතුළත් වෙමින් හිටියා. එච්චර දවස් ගානක් තමන්ගෙ දුවව නොදැක සිටීම තාත්තෙකුට කොච්චර අමාරුද කියන එක ඕනම කෙනෙක් ‍තේරුම්ගනී කියලා මම හිතනවා.“
“ඒ නිසා පුලුවන් තරම් ඉක්මනට මම ‍දැන් ගෙදර යන්න ඕන. කණ්ඩායමෙන් ඉවත් වෙලා ගියත් අපි සතුව ඇති තාක්ෂණය ඔස්සේ දිගින් දිගටම කණ්ඩායම සමග සම්බන්ධතා පවත්වන බව මම ඔවුන්ට කිව්වා.” යැයිද ජයවර්ධන මහතා කියා සිටියේය.

ලෝක කුසලාන තරගාවලියට පෙර දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලිය 3-0 ක් ලෙස පරාජයට පත්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට ජයවර්ධන මහතාගේ පැමිණීමත් සමග නව ජවයක් එක් වූ අතර කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයෝ ඒ සම්බන්ධයෙන් වඩාත් සුබවාදී අදහස් පළ කළහ. තමාගේ පැමිණීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුවේ පැවැති ගැටළු නිරාකරණය කිරීම සිය පළමු කාර්යය කරගත් ජයවර්ධන මහතා ඉන් අනතුරුව සියලුම පිතිකරුවන්ට වෙන වෙනම වගකීම් පැවරීමටද කටයුතු කළේය.

 “මම එනකොට හැම දේම හොඳට සිදුවෙමින් තිබුණා. නමුත් යම් යම් දෙවල් තරමක් වෙනස් වෙලා තවත් වැඩි දියුණු වුණා නම් එය අපිට වාසි දායක වේව් කියලා මට හිතුණා. ප්‍රධනම දේ තමයි එක් එක් ක්‍රීඩකයාගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන එක එයාලට පදහලා දෙන එක. ඒ නිසා මම පුණුකරුවන් සහ ක්‍රීඩකයන් සමග හුඟක් සමීපව කතා කළා. අසාර්ථක වීමේ බයක් තියාගෙන අපිට විස්සයි-20 තරග ක්‍රීඩා කරන්න බැහැ කියන එක මම ඔවුන්ට තේරුම් කරලා දුන්නා.”

“එහෙම නොවුනොත් අපිට පීඩනයක් ආවාම ඒ පීඩනය නැවතත් ප්‍රතිවාදීන්ගේ පැත්තට හරවන්න අපිට බැරි වෙනවා. ඒ නිසා එම සෑම ක්‍රීඩකයෙක් සමගම පෞද්ගලිකවම කතා කළා. විශේෂයන්‍ම පිතිකරුවන් සමග. එයාලා පන්දුවට පහර දෙන ස්ථානය අනුව එයාලගෙ භූමිකාව මොන වගේ විය යුතුද කියන එක ‍මම එයාලට කිව්වා. මොකද අපේ පිතිහරඹ අංශය තව හුඟක් දියුණු වෙන්න ඕන. ඒ වෙනුවෙන් අපි දිගටම කටයුතු කරමින් සිටිනවා.” යැයි ජයවර්ධන මහතා පැවසීය.  

ආරම්භක පිතිකරුවකු ලෙස ක්‍රීඩා කළ අවිෂ්ක ප්‍රනාන්දු අංක 4 ස්ථානයෙත්, අංක 3 ස්ථානයේ දිගින් දිගටම අසාර්ථක වෙමින් සිටි භානුක රාජපක්ෂ අංක 5 ස්ථානයෙත් පන්දුවට පහරදීමට යෙදවූ මහේල,  අතිරේක ක්‍රීඩකයකුව සිටි පැතුම් නිස්සංක මූලික සංචිතයට ඇතුළත් කරවා ගනිමින් ඔහුට කුසල් පෙරේරා සමග ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමේ අවස්ථාව දුන්නේය. අයර්ලන්තයට එරෙහිව පැවැති තරගයේ  ලකුණු 8 කට කඩුලු 3 ක් බිඳ‍ වැටී තිබියදී වනිඳු හසරංගට පිතිකරු ලැයිස්තුවේ උසස්වීමක් ලබාදුන්නේද මහේලය. එම වෙනස්කම්වල ප්‍රතිඵලය මේ වන විටත් ශ්‍රී ලංකා කණ්ඩායම අත්විඳිමින් සිටියි.

නැමීබියාවට එරෙහිව ලකුණු 97 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ තෙවැනි කඩුල්ල‍ වෙනුවෙන් පන්දු 50 කදී ලකුණු 74 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමට අවිෂ්ක ප්‍රනාන්දු (නොදැවී 30) සහ භානුක රාජපක්ෂ (නොදැවී 42) සමත් වූහ. අයර්ලන්ත තරගයේදී අංක 5 ස්ථානයේ පන්දුවට පහරදීම සඳහා පැමිණි වනිඳු හසරංග පන්දු 47 කදී වේගවත් ලකුණු 71 ක් රැස්කරමින්, ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක (61) සමග තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 82 කදී ලකුණු 123 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය.

“මම කණ්ඩායමක අඩු පාඩු දකින විධිය තරමක් වෙනස්. හුඟක් වෙලාවට මම කරන්නේ දත්ත විශ්ලේෂණ කරන එක. ඒ හරහා මට හුඟක් ක්‍රීඩකයන්ගේ හැකියාවන් සහ දුර්වලතාවන් හොඳින් හඳුනාගන්න පුළුවන්. විශේෂයෙන්ම ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් ‍කණ්ඩායමේ නොමැති අවස්ථාවක කණ්ඩායමේ මැද පෙළ ශක්තිමත් කරන්න මට යම් යම් වෙනස් කම් කරන්න සිද්ධ වුණා. ඒ නිසා තමයි ඒ වෙනකොට ලකුණු අතර හිටපු අවිෂ්කව අපි අංක 4 ට ගෙනාවේ.”

“මුල් පෙළ පිතිකරුවන් සහ මැද පෙළ පිතිකරුවන් එක්ව ගොඩනගන සම්බන්ධතා තරගයක් වෙනස් කිරීමට බෙහෙවින්ම බලපානවා. ඒත් මම එනකොට මැද පෙළ හුඟක් කඩා වැටිලයි තිබුණේ. ඒ නිසා මුල් පෙළ සහ මැද පෙළ අතර තිබුණු බැම්ම ශක්තිමත් කරගන්න අවිෂ්කව යොදාගන්න ඕන කියලා මම හිතුවා.“

“දත්ත විශ්ලේෂණය කළාම අපිට තේරුණා අවිෂ්ක වැඩියෙන්ම දක්ෂ වැඩි පන්දු රකින්නන් සංඛ්‍යාවක් යාර 30 සීමාවෙන් එළියෙ පන්දු රකින ‍වෙලාවෙදි ලකුණු රැස්කරන්න කියලා. ඒ නිසා අපි ඔහුව අංක 4 ට ගෙනල්ලා ඔහුට වෙනස්ම භූමිකාවක් බාරදුන්නා.” යැයි ජයවර්ධන මහතා පැවසීය.

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගාවලියේදී හොඳ හැටි බැට කෑ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ අංශයද මේ වන විට විශාල දියුණුවක් ලබා තිබේ. නායක දසුන් ශානකටද මඳවේග පන්දු යැවීමේ හැකියාව ඇති බැවින් ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැති තරගාවලිවලදී වැඩි වශයෙන් චාමික කරුණාරත්න සහ දුෂ්මන්ත චමීර පමණක් වේග පන්දු යවන්නෝ ලෙස කණ්ඩායමට ඇතුළත් වූහ. එ‍් අනුව දඟ පන්දු යවන්නන් දෙදෙනකු හෝ තිදෙනකු සමගින් ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය. කෙසේ වුවත් මහේලගේ ආගමනයෙන් අනතුරුව වේග පන්දු යවන්නකු ලෙසින් ළහිරු කුමාරට කණ්ඩායමේ දොරටු විවර විය.

 තමාට ලැබුණු අවස්ථාවෙන් උපරිම ‍ඵල නෙලාගත් ළහිරු, මූලික වටයේදී නැමිබියාවට එරෙහිව ලකුණු 9 කට කඩුලු 2 ක්ද, අයර්ලන්තයට එරෙහිව ලකුණු 22 කට කඩුලු 2 ක්ද, නෙදර්ලන්තයට එරෙහිව ලකුණු 7 කට කඩුලු 3 ක්ද බිඳ හෙළමින් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත විය. එහිදී ළහිරුගේ පන්දු යැවීමේ වේගය පැයට කිලෝ මීටර් 145 කට වැඩි අගයක් ගත් අතර ඔහු නිසි පාලනයකින් යුතුව නිවැරදි එල්‍ලයේ පන්දු යවන අයුරුද දැකගත හැකි විය. මේ වන විට කණ්ඩායමේ සිට ප්‍රධානතම වේග පන්දු යවන්නා වන දුෂ්මන්ත චමීර සමග කරට කර පන්දු යැවීමක නිරත වන ළහිරු, සෙසු පන්දු යවන්නන්ට පැවරී ඇති වැඩ කොටසද පහසු කරමින් සිටියි.

“මම හැමවෙ‍ලේම විශ්වාස කරන දෙයක් තමයි තරග දිනවන්නෙ පිතිකරුවන් නෙමෙයි පන්දු යවන්නන් කියන එක. ඒ නිසා තරග දිනවිය හැකි පන්දු යවන්නන් පිරිසක් අපි සතුව සිටීම හුඟක් වැදගත්. විස්සයි-20 තරගයකදී ඕනෑම පන්දු යවන්නකුට පහර එල්ල විය හැකි. ඒ නිසා පිතිකරුවන් පාලනය කිරීමට ඇති එකම ක්‍රමය කඩුලු දවාගැනීමයි. මෙහෙ තිබෙන තණ තිරුවලදී එය දඟ පන්දු යවන්නන්ට පමණක් කළ හැකි දෙයක් නොවෙයි.”

“කළින් හිටියට වඩා ළහිරු කුමා‍ර දැන් හුඟක් හොදින් පන්දු යවනවා. ලෝක කුසලාන තරගාවලියට කළින් ඉඳලම වාසි (චමින්ද වාස්) මට කිව්වා ළහිරු එයාගෙ දක්ෂතා වර්ධනය කරගන්න හුඟක් මහන්සි වුණා කියලා. විශේෂයෙන්ම යෝකර් පන්දු සහ බවුන්සර් පන්දු යැවීම සඳහා. ඒ සඳහා ඔහුට වාසිගෙන් ලොකු සහයෝගයක් ලැබිලා තියෙනවා. ඉතින් අපි ඔහුට අවස්ථාවක් දිලා බැලුවා. ඔහු ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරන් ඔහුට කළ හැකි දේ මොකක්ද කියලා අපිට පෙන්නුවා. යැයි ජයවර්ධන මහතා වැඩි දුරටත් සඳහන් කළේය.


අදහස් (0)

මම අඩු පාඩු දකින විධිය තරමක් වෙනස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.