Last Update  :  2025-07-25 15:03:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පොලාඩ් ජාත්‍යන්තර තරග බිමෙන් සමුගනී

පොලාඩ් ජාත්‍යන්තර තරග බිමෙන් සමුගනී

editorial - 2022 අප්‍රේ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක කිරන් පොලාඩ් ජාත්‍යන්තර තරග බිමෙන් සමුගැනීමට තීරණය කර ඇත. මේ වන විට 34 වැනි වියේ පසුවන ඔහු සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්ස් වීඩියෝ පණිවිඩයක් මගින් ඊයේ (20 වැනිදා) සිය සමුගැනීම නිවේදනය කළේය.  

දහනම වැනි වියේ පසුවෙද්දී එනම් 2007 වසරේදී ජාත්‍යන්තර වරම් හිමිකරගත් පොලාඩ්, එක්දින තරග ජාත්‍යන්තර 123 කදී සහ විස්සයි-20 ජාත්‍යන්තර තරග 101 කදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කළේය. 

එක්දින තරගවලදී ශතක 3 ක් සහ අර්ධ ශතක 13 ක් සමග ලකුණු 2706 ක් රැස්කරමින් කඩුලු 55 ක් දවාගත් පොලාඩ්, විස්සයි-20 තරගවලදී අර්ධ ශතක 6 ක් සමග ලකුණු 1569 ක් රැස්කරමින් දවාගත් කඩුලු සංඛ්‍යාව 42 කි. 

එක්දින තරගවලදී 26.01 ක සාමාන්‍යයක් සහ 94.41 ක ලකුණු රැස්කිරීමේ වේගයක් රඳවාගත් පොලාඩ්, විස්සයි-20 තරගවලදී 25.30 ක සාමාන්‍යයක් සහ 135.14 ක ලකුණු රැස්කිරීමේ වේගයක් පවත්වා ගත්තේය. ඔහුගේ එක්දින කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 39.29 ක අගයක්ද, විස්සයි-20 කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 28.28 ක අගයක්ද ගත්තේය. 

කොදෙව් එක්දින සහ විස්සයි-20 කණ්ඩායම් දෙකෙහිම නායකත්වය දරූ පොලාඩ්, 2012 විස්සයි-20 ලෝක ශූර කොදෙව් කණ්ඩායමේ සාමාජිකයකුද විය. 2019 වසරේදී ජේසන් හෝල්ඩර්ගෙන් පසුව කොදෙව් සීමත ඕවර කණ්ඩායම්හි නායකත්වයට පත්වූ ඔහු ජාත්‍යන්තර තරග බිමෙන් සමුගන්නා තෙක්ම එම තනතුර හෙබවීය. 

“තරමක් ප්‍රවේසම් සහගතව හිතා බැලීමෙන් අනතුරුව ජාත්‍යන්තර තරග බිමෙන් සමුගන්න මම තීරණය කළා. මම අවුරුදු 10 ක කොලු ගැටයෙකුව ඉද්දී කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන්න මගේ හීනයක් තිබුණා. අවුරුදු 15 ක් කොදෙව් කණ්ඩායම නියෝජන කිරීම ගැන මම හුඟක් ආඩම්බර වෙනවා.” යැයි සිය සමුගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලාඩ් පැවසීය. 

ජාත්‍යන්තර තරග බිමෙන් සමුගත්තද, තවදුරටත් දෙස් විදෙස් විස්සයි-20 ලීග් සඳහා ක්‍රීඩා කිරීමට පොලාඩ් සූදානමින් සිටින බව වාර්තා වේ. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙම වසරද (2022) ඇතුළත්ව ඉදිරි වසර 3 සඳහා පොලාඩ් සිය කණ්ඩායමේ රඳවාගත්තේ ඔහු වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 6 ක මුදලක් වැය කරමිනි. 

-036


අදහස් (0)

පොලාඩ් ජාත්‍යන්තර තරග බිමෙන් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.