Last Update  :  2025-05-09 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පිතිකාරිණියෝ ඉහළ නගිද්දී පන්දු යවන්නියෝ පසුබසිති
කාන්තා එක්දින ශ්‍රේණිගත කිරීම්

පිතිකාරිණියෝ ඉහළ නගිද්දී පන්දු යවන්නියෝ පසුබසිති

editorial - 2025 මැයි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

මේ දිනවල කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන් කොන් එක්දින තරගාවලියේදී දකුණු අප්‍රිකාවට සහ ඉන්දියාවට එරෙහිව පැවැති තරග දෙකක් පිට පිටම ජයගැනීමට සමත්වීමත් සමග එක්දින ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පිතිකාරිණියෝ සමත්ව සිටිති. 

එහිදී දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 77 ක්ද, ඉන්දියාවට එරෙහිව ලකුණු 53 ක්ද ලෙස පිට පිටම අර්ධ ශතක 2 ක් ලබාගත් හර්ෂිතා සමරවික්‍රම, එක්දින පිතිකාරිණියන් අතර ස්ථාන 9 ක් ඉදිරියට එමින් 18 වැනි ස්ථානයට පත්ව සිටින්නීය. 

මේ වන විට ශ්‍රේණිගත ලකුණු 583 ක් ලබා සිටින හර්ෂිතා, ඇගේ ක්‍රීඩා දිවිය තුළ මෙතෙක් ලබා ඇති ඉහළම ස්ථානය මෙය වන අතර වසර ගණනාවකට පසුව චමරි අතපත්තු හැරුණු කොට ශ්‍රී ලංකා පිතිකාරිණියක් එක්දින ශ්‍රේණිගත කිරීම්හි පළමු 20 දෙනා අතරට එක්වූ පළමු අවස්ථාවද මෙය විය. 

ඉන්දියාවට එරෙහිව පැවැති තරගයේදී පන්දු 33 කින් වේගවත් ලකුණු 56 ක් රැස්කළ නිලක්ෂි ද සිල්වා එක්දින පිතිකාරිණියන් අතර 25 වැනි ස්ථානයට පත්ව ඇත්තේ ස්ථාන 18 ක් ඉදිරියට එමිනි. ඇගේ පිතිහරඹය හමුවේ ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව ලබාගත් ජයග්‍රහණය සටහන් වූයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් හඹාගොස් තරගයක් ජයගත් දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව (278) ලෙසිනි. 

නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව හොඳම එක්දින පිතිකාරිණියන් අතරට එක්වූ සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩිකාව ලෙස කවීෂා දිල්හාරි හැඳින්විය හැකිය. දකුණු අප්‍රිකාවට එරෙහිව ලබාගත් අර්ධ ශතකයත් සමග ඇය එක්දින පිතිකාරිණියන් අතර 47 වැනි ස්ථානයටත්, එක්දින තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතර සම 17 වැනි ස්ථානයටත් පත්ව සිටින්නීය. 

හසිනි පෙරේරා ස්ථාන 8 ක් ඉදිරියට එමින් 64 වැනි ස්ථානයටද, විෂ්මි ගුණරත්න ස්ථාන 5 ක් ඉදිරියට එමින් 71 වැනි ස්ථානයටද, අනුෂ්කා සංජීවනී ස්ථාන 5 ක් ඉදිරියට එමින් 94 වැනි ස්ථානයටද පත්ව සිටින නමුත් නායිකා චමරි අතපත්තු ස්ථාන 2 ක් පසුබසිමින් 9 වැනි ස්ථානය දක්වා පසුබැස තිබේ. 

කෙසේ වුවත් එක්දින පන්දු යවන්නියන්ගේ ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 14 ක් ඉදිරියට ඒමට සමත්ව සිටින චමරි, මේ වන වන විට ශ්‍රේණිගත ලකුණු 464 ක් ලබා එහි 29 වැනි ස්ථානයට පත්ව සිටින්නීය. එක්දින තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතරද එක් ස්ථානයක් ඉදිරියට පැමිණ ඇති ඇය, මේ වන විට එහි 7 වැනි ස්ථානයේ පසුවන්නීය. චමරිට අමතරව සුගන්දිකා කුමාරිද ස්ථාන 23 ක් ඉදිරියට පැමිණෙමින් 41 වැනි ස්ථානයට පත්ව සිටින්නීය. 

එහෙත් එක්දින පන්දු යවන්නියන්ගේ ලැයිස්තුවේ පළමු 100 දෙනා අතර සිටි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් වූ ඉනෝකා රණවීර ස්ථානයක් පසුබසිමින් 26 වැනි තැනටද, උදේෂිකා ප්‍රබෝධනී ස්ථාන 4 ක් පසුබසිමින් 33 වැනි තැනටද, ඕෂධී රණසිංහ ස්ථාන 4 ක් පසුබසිමින් 45 වැනි තැනටද, අචිනි කුලසූරිය ස්ථාන 6 ක් පසුබසිමින් 49 වැනි තැනටද, කවීෂා දිල්හාරි ස්ථාන 10 ක් පසුබසිමින් සම 49 වැනි තැනටද පත්ව සිටිති. 

 


අදහස් (0)

පිතිකාරිණියෝ ඉහළ නගිද්දී පන්දු යවන්නියෝ පසුබසිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.