සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) ආරම්භවූ දෙවැනි නිල නොවන ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම අයහපත් ආලෝක තත්වය හේතුවෙන් පළමු දිනට තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 286 ක් රැස්කිරීමට සමත්විය.
නීල් රොක් ලකුණු 57 ක් සහ ලෝකන් ටකර් ලකුණු 61 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටින අතර පස්වැනි කඩුල්ල සඳහා මේ වනවිට ලකුණු 128 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගීමටද ඔවුන් සමත්වූහ. පන්දු 133 කට මුහුණදුන් නීල් රොක් හතරේ පහර 5 ක් සිය ඉනිමට එක්කර ගත් අතර ලෝකන් ටකර් පන්දු 128 කදි හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 කින් සිය ලකුණු සංඛ්‍යාව ඉහළ නංවා ගත්තේය.
අයර්ලන්ත ‘ඒ’ පිතිකරුවෝ දිවා ආහාරයත් තේ පානයත් අතර කාළය තුළ යම් පසුබෑමකට ලක්වුවද තේ පානයෙන් පසුව කඩුලු ආරක්ෂා කරගනිමින් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ. එම කාළය තුල කඩුල්ලක් ලබානොදුන් අයර්ලන්ත ‘ඒ’ පිතිකරුවෝ ලකුණු 72 ක් රැස්කිරීමට සමත්වූහ. අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරගය නතර කර තැබීමට සිදුවූ අතර එම නිසා පළමු දිනයේ ඕවර 8 ක් අපතේ ගියේය.
දිවා ආහාරය සඳහා තරගය නතර කරනවිට කඩුල්ලක් දැවී ලකුණු 126 ක් රැස්කරගෙන ඉතා ප්‍රභල තත්වයක සිටි අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමේ කඩුලු 3 ක් තේ පානයට පෙර දවාගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ පන්දු යවන්නෝ සමත්වූහ. දිවා ආහාරයෙන් පසුව තේ පානයට තරගය නතර කරන තෙක් කාළය තුල ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 88 ක් පමණි.
පළමු භාගයේදී අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමට වැඩිවාසී ලබාදෙමින් අර්ධ ශතක ලබාගත් ජේම්ස් මැකලම්ට සහ ස්ටීවන් ඩොහෙනිට දිවා ආහාරයෙන් පසුව වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට මොහොමඞ් ශිරාස් සහ චාමික කරුණාරත්න අවස්ථාවක් ලබානොදුන්හ.
පන්දු 105 කට මුහුණදුන් ජේම්ස් මැකලම් හතරේ පහර 7 ක් සමගින් ලකුණු 72 ක් රැස්කළ අතර ස්ටීවන් ඩොහෙනිට පන්දු 103 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 58 ක් රැස් කිරීමට සමත්විය. ඔවුන් දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 110 ක සම්බන්ධතාවයක්ද ගොඩනැගූහ.
අයර්ලන්ත ‘ඒ’ පළමු ඉනිමේ 5 වැනි ඕවරයේදී ආරම්භක පිතිකරු ජේම්ස් ෂැනන් ලකුණු 13 කට දවාගනිමින් සාර්ථක ආරම්භයක් ලබාගැනීමට චාමික කරුණාරත්න සමත්වුවද පළමු භාගයේදී වැඩි සාර්ථකත්වයක් පෙන්නුම් කිරීමට පන්දු යවන්නෝ අසමත්වූහ.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායක අෂාන් ප්‍රියන්ජන් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.