Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පන්දු යවන්නන්ගේ පිත්තෙනුත් ලකුණු ඕනා

පන්දු යවන්නන්ගේ පිත්තෙනුත් ලකුණු ඕනා

editorial - 2024 පෙබ මස 13 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(දමින්ද විජේසූරිය පල්ලෙකැළේ සිට..)

පන්දු යවන්නකු ලෙසින් පමණක් කිසියම් ක්‍රීඩකයකු කණ්ඩායමට එක්වූ යුගය අවසන් වී තිබේ. එක්දින අන්තර්ජාතික තරගයකදී කණ්ඩායමක් ලබාගන්නා සාමාන්‍යය ලකුණු සංඛ්‍යාව 300 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පළමුවෙන් පන්දුවට පහර දෙන කණ්ඩායම ලකුණු 300 ක් ලබාගත්තත්, ජයග්‍රහණය ගැන විශ්වාසයක් තැබීමට එය ප්‍රමාණවත් නැත. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වන ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පවසන්නේ, එවන් තත්ත්වයක් පවතින හෙයින් පන්දු යවන්නන් සියලු දෙනාම සාධාරණ ලකුණු සංඛ්‍යාවකින් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ නංවන්නට දායක විය යුතු බවයි. 

මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී, ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර තුන්වැනි එක්දින අන්තර්ජාතික තරගය හෙට (14 වැනිදා) ආරම්භ වන්නේ මෙවන් පසුබිමකදීය. 

“පිතිහරඹය සම්බන්ධයෙන් සෑම පන්දු යවන්නකු සමඟම අපි ඉතා වෙහෙස මහන්සියෙන් වැඩ කරනවා. කිසියම් ක්‍රීඩකයෙක් පන්දු යවන්නෙක් විදිහට විතරක් කණ්ඩායමට එක්වුණ කාලය දැන් ගෙවී ගිහිල්ලා අවසානයි. ඔවුන් සියලු දෙනාම පිත්තෙනුත් කණ්ඩායමට දායක විය යුතුයි” යයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා අද (13 වැනිදා) පස්වරුවේදී පැවැති පුවත් පත් සාකච්ඡාවේදී පැවසීය. 

සියලුම පන්දු යවන්නන්ට විශාල ලකුණු සංඛ්‍යාවන් ලබාගත නොහැකිය. කණ්ඩායම වෙනුවෙන් ලකුණු රැස්කිරීම පිතිකරුවන්ගේ කාරියකි. එහෙත් කණ්ඩායමට අවශ්‍ය අවස්ථාවේදී ලකුණු 30 - 40 ක් ලබාගැනීමට කිසියම් පන්දු යවන්නකු අසමත් වේ නම් එය ඔහුගේ අදක්‍ෂතාව නොව ආකල්පමය අතපසුවීමකි. 

අනෙක් අතට තුන් ඉරියව් ක්‍රීඩකයකුගේ භූමිකාව යනු ලකුණු 30 - 40 ක් නොවේ. අවශ්‍ය අවස්ථාවේදී ශතකයක් නැතහොත් කඩුලු 5කි. 

“ඒක අපි පසුගිය කාලයේ දැක්කා. සමහරවිට දිගින් දිගටම ඔවුන් පිත්තෙන් සාර්ථක වෙන්නේ නෑ. ඒක පහසුත් නෑ. ඒත් ඔවුන් සියලු දෙනාම දියුණු විය යුතුයි.....”

“වේග පන්දු යවන්නන් මෙන්ම දඟපන්දු යවන්නන් සියලු දෙනාම ඒ තත්ත්වයට ආ යුතුයි. සෑම කෙනෙකුම යම් අවස්ථාවක දී කණ්ඩායම වෙනුවෙන් දායක වෙන්න ඕනා.  හැමදාම පුහුණුවීම්වලදී, ඔවුන් (පන්දු යවන්නන්) පිතිහරඹ පුහුණුකරුවන් එක්ක සෑහෙන වෙලාවක් ගතකරනවා... ඔවුන් කළ යුත්තේ එයයි” යයි ද සිල්වර්වුඩ් මහතා පැවසීය. 

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග වලදී, දිගු කලක් තිස්සේ දඟ කැවෙන සුළු, මන්දගාමී තණතීරු මත ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ උපාය මාර්ග මේ වන විට වෙනස් වී තිබේ. ටෙස්ට් තරගය සඳහා කොළඹ එස්.එස්.සී. පිටියේදීත් පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක ක්‍රීඩා කළ ඔව්හු, පල්ලෙකැළේදී පිතිකරුවන්ගේ පාරාදීසකට පිළිපන්හ. එය අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරගාවලි ඉලක්ක කරගනිමින් අනුගමනය කරනු ලබන උපායකි. 

“මේ වන විට එක්දින අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාව දිහා බැලුවොත් හොඳ කඩුලු මත ක්‍රීඩා කිරීම අවශ්‍ය වෙනවා. ඒකයි මම පිතිකරුවන්ට යෝග්‍ය තණතීරු ඉල්ලා සිටියේ. ඒකට මට සහයෝගය ලැබුණා”

“මේ සැලැස්ම හොඳින් ආවරණය කරගන්න ක්‍රීඩකයින්ට අවස්ථාව දෙන්න ඕනා. අනෙක් කාරණය තමයි මේ වගේ තණතීරු මත අපි ලබාගන්නා ලකුණු සංඛ්‍යාවන් ආරක්ෂා කර ගන්නත් අපි ඉගෙන ගන්න ඕනා” යයි ද සිල්වර්වුඩ් මහතා පැවසීය. 

ලෝක කුසලාන තරගාවලියේදී අතිශය දුර්දාන්ත පරාජයන් වැලකට මුහුණ දුන් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම එතැන් සිටි සාර්ථකව ඉදිරියට පැමිණ සිටී. සිම්බාබ්වේ පිලට එරෙහිව එක්දින සහ විස්සයි-20 තරගාවලි දෙකම ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඇෆ්ඝනිස්ථානයට එරෙහිව ටෙස්ට් තරගය ජයගැනීමෙන් පසුව එක්දින තරගාවලියද ජයගෙන සිටිති. එහෙත් අමතක නොකළ යුත්ත වන්නේ සිම්බාබ්වේ මෙන්ම ඇෆ්ඝනිස්ථානයද අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ සිටින්නේ ශ්‍රී ලංකාවට පහළින් බවයි. 

හෙට තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් හෝ තුනක් සිදුවනු ඇතැයි දැනගන්නට තිබේ. තරගාවලිය ජයගෙන ඇති බැවින්, මහීෂ් තීක්‍ෂණ වෙනුවට අකිල ධනංජය කණ්ඩායමට කැඳවීමේ සූදානමක් තිබෙන අතරම වනිඳු හසරංගගේ ස්ථානයට දුනිත් වෙල්ලාලගේ හෝ චාමික කරුණාරත්න කැඳවීමට ද ඉඩ තිබේ. ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු කෙරේ ශ්‍රී ලංකා කඳවුර තවදුරටත් විශ්වාසය තබා තිබේ. 

ක්‍රිකට් ක්‍රීඩාවේදී පිතිකරුවන් අතර පවතින සම්බන්ධතා ගැන බොහෝ කතා බහ ඇතිවන නමුත් පන්දු යවන්නන් අතර පවතිනන සම්බන්ධතා පිළිබඳ කතා බහ අඩුය. එහෙත් වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මෑත කලීන දස්කම් දෙස බැලීමේදී පන්දු යවන්නන් අතර පවතින සම්බන්ධතා ද කැපී පෙනිණ. 

“අපි අවධානය යොමු කරපු එක දෙයක් තමයි ඕවරය හොඳින් ආරම්භ කරලා හොඳින් අවසන් කිරීම. ඒ මගින් පිතිකරුවා වෙතට පීඩනය තල්ලු කිරීම. විශාල පහරවල් ගහන්න පිතිකරුවා පොළඹවන එක. ඊලඟ පන්දු යවන්නාගේ කාරිය තමයි කලින් පන්දු යවපු කෙනා නතර කළ තැනින් ආරම්භ කරන එක.” යයි ද සිල්වර්වුඩ් මහතා පැවසීය. 

ඡායාරූපය - ගයාන් අමරසේකර


අදහස් (1)

පන්දු යවන්නන්ගේ පිත්තෙනුත් ලකුණු ඕනා
  • පත්ම කුමාර Thursday, 15 February 2024 11:41 AM

    මොන විදියකින් හරි ලාංකිකයින්ට බලන්න මැච් තිබුණොත් හොඳයි. කවදාහරි දිනනකන් බලන් ඉන්න අපි කැමැති නෑ. පැරදීම කාටත් පොදුයි. ජයග්‍රහණයත් කාටත් පොදුයි කියන මතකය හැමදාම මතක තියෙන්න ඕනෑ. ලෝකෙම බලන් ඉන්න ක්‍රිකට් එකක් අපි ගහන්න ඕනෑ...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.