
ඉන්දියාවට එරෙහිව ඉන්දෝර්හිදී පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 41 ක ජයක් ලැබූ නවසීලන්තය, දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට සමත් විය. එදා මෙදා තුර ඉතිහාසයේදී නවසීලන්ත කණ්ඩායමක් ඉන්දියාවේදී පැවැති ද්ව්පාර්ශ්වික එක්දින තරගාවලියකදී ඉන්දියාව පරාජය කළ පළමු අවස්ථාව ලෙසද මෙය වාර්තා අතරට එක් විය.
මුල් තරග 2 අවසානයේ 1-1 ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්වයේ පසුවීම හේතුවෙන් ඊයේ (18 වැනිදා) පැවැති තෙවැනි තරගය අවසන් මහ තරගයක ස්වරූපයක් ගත්තේය. එහිදී ජයග්‍රහණය සඳහා ලකුණු 338 ක ඉලක්කයක් හඹාගිය ඉන්දියාවට ක්‍රිස්ටන් ක්ලාක් සහ සකාරි ෆෝල්ක්ස් ප්‍රමුඛ නවසීලන්ත පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 46 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 296 ක් පමණි.
එහිදී 54 වැනි එක්දින ශතකය ලබාගැනීමට විරාට් කෝලි (124) සමත් වුවද, ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. පන්දු 108 කට මුහුණදුන් කෝලි හයේ පහර 3 කින් සහ හතරේ පහර 10 කින් සිය ඉනිම සැරසුවේය. නිතිෂ් රෙඩ්ඩ් (53) සමග එක්ව 5 වැනි කඩුල්ල සඳහා පන්දු 88 කින් ලකුණු 88 ක් එක්කළ කෝලි, ඉන් නොනැවතී හර්ෂිත් රානා (52) සමග එක්ව 7 වැනි කඩුල්ල සඳහා පන්දු 69 කින් ලකුණු 99 ක් එක් කිරීමටද සමත් විය.
කෝලිගේ කඩුල්ලද සමග ලකුණු 54 කට කඩුලු 3 ක් බිඳහෙළීමට ක්‍රිස්ටන් ක්ලාක් සමත් වෙද්දී, ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් සකාරි ෆෝල්ක්ස් ලකුණු 77 කට කඩුලු 3 ක් බිඳහෙළුවේය. ජේඩ්න් ලෙනොක්ස් කඩුලු 2 ක් දවාගත්තේ ප්‍රතිවාදීන්ට ලකුණු 42 ක් ලබා දෙමිනි.
පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 337 ක් ලබාගත් අතර එහිදී ශතක වාර්තා කිරීමට ඩර්ලි මිචෙල් (137) සහ ග්ලේන් පිලිප්ස් (106) සමත් වූහ. පන්දු 131 කදී වාර්තා වූ මිචෙල්ගේ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 15 කින්ද, පන්දු 88 කදී වාර්තා වූ පිලිප්ස්ගේ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 9 කින්ද සමන්විත විය. සිවුවැනි කඩුල්ල සඳහා පන්දු 186 කදී ලකුණු 219 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඔවුන් දෙදෙනා සමත් වූහ.
නවසීලන්තය - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 337
(විල් යංග් 30, ඩර්ලි මිචෙල් 137, ග්ලේන් පිලිප්ස් 106, මයිකල් බ්‍රාස්වෙල් නොදැවී 28, අර්ෂ්දීප් සිං 63/3, හර්ෂිත් රානා 84/3)
ඉන්දියාව - ඕවර 46 කදී සියලු දෙනා දැවී 296
(ශුබ්මන් ගිල් 23, විරාට් කෝලි 124, නිතිෂ් රෙඩ්ඩි 53, හර්ෂිත් රානා 52, ක්‍රිස්ටියන් ක්ලාක් 54/3, සකාරි ෆෝල්ක්ස් 77/3, ජේඩ්න් ලෙනොක්ස් 42/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.