Last Update  :  2025-05-07 17:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජය සෙවීම පසෙක තියා ක්‍රීඩකයන් සොයයි
එංගලන්ත ‘ඒ’ පිල ශ්‍රී ලංකාවේ

ජය සෙවීම පසෙක තියා ක්‍රීඩකයන් සොයයි

editorial - 2023 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(දමින්ද විජේසූරිය)

නවසීලන්ත සංචාරය අත පොවන මානයේ ඇති හෙයින් එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට (07 වැනිදා) ආරම්භ වන දෙවැනි සිව්දින ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම තවදුරටත් ශක්තිමත් කර තිබේ. චාමික කරුණාරත්න, ප්‍රවීන් ජයවික්‍රම සහ විශ්ව ප්‍රනාන්දු 11 දෙනා අතරට කැඳවමින් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණ වන්නේ මෙම තරගය ජයගැනීම නොව, ටෙස්ට් කණ්ඩායම ආසන්නයේ සිටින ක්‍රීඩකයන්ගේ තත්ත්වය වැඩිදුරටත් පරීක්‍ෂා කිරීමයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරය ආරම්භ වීමට තවත් ඇත්තේ සති තුනක පමණ කාලයකි. ඒ අනුව හෙට (07 වැනිදා) ගාල්ල ක්‍රීඩාංගණයේදී ආරම්භ වන තරගය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ටෙස්ට් තරගයකි.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය අවසන් ටෙස්ට් තරගයකට සහභාගි වී දැනට මාස 6 කි. චාමික කරුණාරත්න සිය එකම ටෙස්ට් තරගයට සහභාගි වී අවුරුදු 4 කි. ඒ 2019 පෙබරවාරියේදී ඕස්ටේ්‍රලියාවට එරෙහිව කැනබරා නුවරදීය. චාමික අවසන් වරට පළමු පෙළ තරගයකට සහභාගි වූයේ ද දැනට වසර දෙක හමාරකට කලිනි.

නවසීලන්ත සංචාරයේදී වේග පන්දු යැවිය හැකි පිතිකරුවා (සිව්වැනි වේග පන්දු යවන්නා) වශයෙන් චාමික කරුණාරත්න යොදාගැනීමටත්, ටෙස්ට් කණ්ඩායමේ නිශ්චිත වේග පන්දු යවන්නන් තිදෙනාගෙන් අයකු ලෙසින් විශ්ව ප්‍රනාන්දු යොදාගැනීමත් ශ්‍රී ලංකා තේරීම් කමිටු නිලධාරීහු බලාපොරොත්තුව සිටිති. එබැවින් හෙට තරගයේදී තේරීම් කමිටුව චාමිකගෙන් අපේක්‍ෂා කරන්නේ අංක 7 ස්ථානයේ පන්දුවට පහර දෙමින් පිතිකරුවකු ලෙසින් ඔහුට කළ හැකිදේ කුමක්ද යන්න පෙන්වා දෙන ලෙසයි.

ඕස්ටේ්‍රලියාවට සහ පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරග 3 කදී කඩුලු 29 ක් දවාගත් ප්‍රභාත් ජයසූරියට නවසීලන්ත සංචාරය සඳහා දැනටමත් තේරීම් කමිටුවේ ‘වීසා’ ලැබී තිබේ.

එහෙත් නවසීලන්ත සංචාරය ඉලක්ක කරගනිමින් ප්‍රවීන් ජයවික්‍රම ශ්‍රී ලංකා ‘ඒ’ පිලට කැඳවා ඇත්තේ වමත් දඟ පන්දු යවන්නන් අතර දෙවැනි තේරීම වන ලසිත් ඇඹුල්දෙණිය තවමත් සුපුරුදු රිද්මයට පැමිණ නැති බැවිනි.

“ලසිත් හෝ ප්‍රවීන් දෙදෙනාගෙන් හොඳට පන්දු යවන කෙනාට ප්‍රභාත් එක්ක නවසීලන්තයට යන්න ලැබේවි. මොකද හදිසියේ වත් ප්‍රභාත් ආබාධයකට ලක්වුණොත් අපට හොඳ වමත් පා දඟ පන්දු යවන්නකු ඉන්න ඕනෑ” යයි තේරීම් කමිටු නිලධාරියෙක් පැවසීය.

නිශාන් මධුෂ්ක ගාල්ලේදී ලබාගත් ලකුණු 241 ම තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සිය දෑසින්ම බලා සිටියේය. මධුෂ්ක සම්බන්ධයෙන් ඔහුට ඇත්තේ මහත් ප්‍රසාදයකි.

රාගම ක්‍රීඩා සමාජය නියෝජනය කරන 23 හැවිරිදි නිෂාන් මධුෂ්කට කඩුලු රැකීමේ හැකියාවත් තිබීම අතිරේක වාසියකි. එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැති තුන්දින පුහුණු තරගයේදී ලකුණු 150 ක් ලබා නොදැවීම පිටියෙන් ඉවත්ව ගිය මධුෂ්ක ගාල්ලේදී සිය ද්විත්ව ශතකය ලබාගැනීමෙන් පසුව වුවද, එතැන් සිට ඉතිරි ලකුණු 41 කරා ගියේත් සුපුරුදු ඉවසීමෙන් සහ තැන්පත් බවින් යුතුවය.

පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකළ කමිඳු මෙන්ඩිස්ට ද හෙට තරගයේදී අවස්ථාවක් ලැබීමට නියමිත නමුත් එය සම්පූර්ණයෙන්ම ස්ථිර වී නැත. යම් හෙයකින් පිතිකරු ලයිස්තුවට නුවනිඳු ප්‍රනාන්දු ඇතුළත් වන්නේ නම් මෙම තරගයේදී විශ්ව - නුවනිඳු අයියා මලෝ එකම කණ්ඩායමක ක්‍රීඩා කරනු ඇත.

එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ පිතිහරඹය හොඳ මට්ටමක තිබෙන නමුත් ඔවුන්ගේ පන්දු යැවීම නම් අපේක්‍ෂිත මට්ටමට වඩා දුර්වල බව පැහැදිළිවම පෙනෙන්නට තිබේ. එවන් තත්ත්වයකදී ශ්‍රී ලංකා පිතිකරුවන් විසින් ඔවුන්ට එල්ල කරනු ලබන පීඩනය මත මෙම තරගයේ ජය පරාජය රැඳී පවතී.

වේග පන්දු යවන්නකු වශයෙන් විශ්ව ප්‍රනාන්දු කණ්ඩායමට එක්වීමත්, ප්‍රවීන් ජයවික්‍රම හමුවේ ලසිත් ඇඹුල්දෙණියගේ ස්ථානය අවදානමට ලක්ව තිබීමත් නිසා ඔවුන් දෙදෙනාම එකිනෙකා පරයන දස්කම් දැක්වුවහොත් මෙම තරගය ජයගැනීම අපහසු කාරියක් ද නොවේ. ඔවුන් අතර සිටින ලක්‍ෂිත මානසිංහ මහත් බලාපොරොත්තු තැබිය හැකි පිට දඟ පන්දු යවන්නකු මෙන්ම පිතිකරුවකු ද වෙයි.


ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය
නිපුන් ධනංජය (නායක), ලසිත් කෲස්පුල්ලේ, අම්ෂි ද සිල්වා, නිශාන් මධුෂ්ක, මිලාන් රත්නායක, ළහිරු උදාර, ශිරාන් ප්‍රනාන්දු, ඉසිත විජේසුන්දර, කමිඳු මෙන්ඩිස්, චමිඳු විජේසිංහ, සහන් ආරච්චිගේ, ධනංජය ලක්ෂාන්, තනුක දාබරේ, සුමින්ද ලක්ෂාන්, ෂෙවොන් ඩැනියෙල්, ප්‍රවීන් ජයවික්‍රම, ඕෂධ ප්‍රනාන්දු, ලක්ෂිත මානසිංහ, නිවනිඳු ප්‍රනාන්දු, ලසිත් ඇඹුල්දෙණිය, ජනිත් ලියනගේ, චාමික කරුණාරත්න, විශ්ව ප්‍රනාන්දු සහ දුෂාන් හේමන්ත


එංගලන්ත ලයන්ස් සංචිතය
හසීබ් හමීඩ් (නායක), ඇලෙක්ස් ලීස්, ටොම් හේන්ස්, ටොම් ඇබෙල්, ජොෂ් බොහානන්, ලින්ඩන් ජේම්ස්, ජැක් හයින්ස්, ජැමී ස්මිත්, ඔලී රොබින්සන්, සෑම් කුක්, ජැක් කාසන්, ජොෂ් ටොන්ග්, නේතන් ගිල්ක්‍රිස්ට්, ලයාම් පැටින්සන්-වයිට්, මැතිව් ෆිෂර්, ටොම් හාට්ලි සහ සකීබ් මොහොමඩ්

 


අදහස් (0)

ජය සෙවීම පසෙක තියා ක්‍රීඩකයන් සොයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.