Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket චන්දිමාල් - දික්වැල්ල ශ්‍රී ලංකා පිල බේරාගනිති
චිතගොන් ටෙස්ට් තරගය

චන්දිමාල් - දික්වැල්ල ශ්‍රී ලංකා පිල බේරාගනිති

editorial - 2022 මැයි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

නායකයා සහ උප නායකයා අනවශ්‍ය පහර කරා යමින් සිය කඩුලු බන්දේසියක තබා බංග්ලාදේශ පන්දු යවන්නන්ට පූජා කළද, දිනේෂ් චන්දිමාල් (නොදැවී 39) සහ නිරෝෂන් දික්වැල්ල (නොදැවී 61) එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 99 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් කඩාවැටී තිබූ ශ්‍රී ලංකා දෙවැනි ඉනිම සවිමත් කළහ.

චන්දිමාල්ගේ සහ දික්වැල්ලගේ පිතිහරඹයන් හමුවේ චිතගොන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගය ජය පැරදුමකින් තොරව අවසන් කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. තරගය නිමාවට පත්වන විට ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 260 ක් ලබා බංග්ලාදේශයට වඩා ලකුණු 192 ක් ඉදිරියෙන් සිටියේය.

එහිදී සුපුරුදු ලෙස හිතුවක්කාර පහරවල් කරා ගිය දික්වැල්ල, දැවී යෑමට ආසන්න අවස්ථා කිහිපයක්ම පසු කළේය. කෙසේ වුවත් සිය අත්දැකීම් උපයෝගී කරගනිමින් ඉතා සංයමයකින් යුතුව පන්දුවට පහරදුන් චන්දිමාල්, ලකුණු රැස්කිරීම පසෙක තබා තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමේ අරමුණින් ආරක්ෂාකාරී ලෙස පිත්ත හැසිරවීය.

සිය 19 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් දික්වැල්ල හතරේ පහර 6 කින් එය අලංකාර කළේය. ඊට ඛලීල් අහමඩ්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින්නාගේ හිසට ඉහළින් එල්ල කළ අපර් කට් පහරකින් ලබාගත් හතරේ පහරක්ද ඇතුළත් විය. පන්දු 135 ක් පුරා කඩුල්ල ආරක්ෂා කරගත් චන්දිමාල් ලෝන් ඕන් කළාපයට ඉහළින් ගැසූ දැවැන්ත හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සිය ඉනිම සැරසුවේය.

බංග්ලාදේශයට වඩා ලකුණු 68 ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකාව, සිවුවැනි දිනය වූ ඊයේ (18 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 39 ක් ලබා සිටියේය. අද දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කිරීමට පෙර සිය ලකුණු පුවරුවට ලකුණු 89 ක් එක්කළ ශ්‍රී ලංකා පිතිකරුවෝ, දිවා ආහාරයත් තේ පානයත් අතර කාලය තුළ සිය කණ්ඩායමට තවත් ලකුණු 77 ක් එක් කිරීමට සමත් වූහ.

දීර්ඝ වේලාවක් කඩුල්ලේ රැදෙමින් සිය 28 වැනි ටෙස්ට් අර්ධ ශතකය සම්පූර්ණ කළ දිමුත් කරුණාරත්න ඉදිරියට පැන ගැසූ පහරකින් ඇදී ගිය පන්දුව, උඩ පන්දුවක් බවට පත්කර ගැනීමට ප්‍රතිවාදී කණ්ඩායමේ නායක මොමිනුල් හක් සමත් විය. හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 33 ක් ලබා සිටි ධනංජය ද සිල්වා දැවී ගියේ සකීබ් අල් හසන් යොමුකළ කෙටි පන්දුවට ගැසූ පුල් පහරකින් ඇදී ගිය පන්දුව මිඩ්විකට් කළාපයේ පන්දු රකිමින් සිටි මුෂ්ෆිකුර් රහීම්ගේ දෑත් අතර සිරවීම හේතුවෙනි.

දිනයේ පළමු කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු 48 කට දැවී ගියේ තයිජුල් ඉස්ලාම්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙනි. තරමක් වේගයෙන් ලකුණු රැස්කළ කුසල්, පන්දු 43 කදී වාර්තා වූ සිය ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 8 කින් සැරසුවේය. දිමුත් සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 67 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද කුසල් සමත් විය.
 
පළමු ඉනිමේදී ද්විත්ව ශතකයක් ආසන්නයටම ගිය ඇන්ජලෝ මැතිව්ස් දෙවැනි ඉනිමේදී ලකුණු ලබාගැනීමටත් පෙරාතුවම පිටියෙන් ඉවත් කළ තයිජුල් ඉස්ලාම්, පස්වැනි දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ලකුණු 128 කට කඩුලු 4 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම තරමක් අසීරු තත්ත්වයකට ඇද දැමුවේය.

ආරම්භක පිතිකරු ඕෂධ ප්‍රනාන්දු (19) දුවද්දී දැවීයෑමකට හසුවීම නිසා ලසිත් ඇඹුල්දෙණයට රාත්‍රී මුරකරු පිතිකරු ලෙස පිටියට පිවිසීමට සිදුවිය. පන්දු 21 ක් පුරා කඩුල්ල ආරක්ෂා කරගත් ඇඹුල්දෙණිය, 22 වැනි පන්දුවේදී සිය කඩුල්ල අහිමිකර ගැනීමත් සමග සිවුවැනි දිනය සඳහා ඊයේ තරගය නතර කිරීමට විනිසුරුවෝ පියවර ගත්හ.

-036 


අදහස් (0)

චන්දිමාල් - දික්වැල්ල ශ්‍රී ලංකා පිල බේරාගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.