Last Update  :  2025-05-05 18:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගාල්ලේම බර භානුක කරපිට

ගාල්ලේම බර භානුක කරපිට

ශානුක අරවින්ද - 2020 නොවැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලන්කන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සම්බන්ධයෙන් පළමුවෙන්ම උනන්දුවක් ඇතිකරගත් හිමිකාර සමාගම වුයේ ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ හිමිකරුවෝය. සහීඩ් අෆ්රීඩි එහි ඉදිරියෙන්ම සිටියේය. එහෙත් අෆ්රිඩිටත් පළමු තරග දෙක මඟහැරෙන හෙයින් ගාල්ල කණ්ඩායම කරේ තියාගෙන යාමට සිදුවී ඇත්තේ උප නායක භානුක රාජපක්ෂටය.

ලන්කන් ප්‍රිමියර් ලීග් තරගාවලි‍යේදී ගාල්ල ග්ලැඩිය්ටර්ස් කණ්ඩායම මෙහෙයවීම සඳහා නම් කරනු ලැබ සිටින පාකිස්තානු ජාතික තුන් ඉරියව් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩිට එම කණ්ඩායම සහභාගි වන පළමු තරග දෙකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව මඟ හැරෙනු ඇතැයි වාර්තා වේ. ඊට හේතු‍වී ඇත්තේ ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව ඔහුට දින 7 ක කාලයක් නිරෝධායන ක්‍රියාවලියකට භාජනය වීමට සිදුව තිබීමයි.

තරගාවලියට සහභාගි වීම සඳහා අෆ්රිඩි ඊයේ (23 වැනිදා) දිවයිනට පැමිණීමට නියමිතව සිටි  අතර ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහභාගි වන පළමු තරගය මේ මස 27 වැනිදා යාපනය ස්ටැලියන්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වේ. දෙවැනි තරගය 28 වැනිදා කොළඹ කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතය.

එම තරග දෙක සඳහාම අෆ්රිඩි සහභාගි ‍නොවුණහොත් උප නායක භානුක රාජපක්ෂ විසින් එහිදී ගාල්ල කණ්ඩායම මෙහෙයවනු ලබනු ඇත.  

ගාල්ලෙන් බිහිවූ ක්‍රීඩකයකු වන නායක ලසිත් මාලිංග තරගාවලියට සහභාගි නොවීමට තීරණය කිරීමත් සමග අෆ්රිඩි, ගාල්ල කණ්ඩායමේ නායකත්වය සඳහා නම් කිරීමට එම කණ්ඩයමේ කලමනාකාරීත්වය පියවර ගත්තේය. විස්සයි20 ජාත්‍යන්තර තරග 38 කදී පාකිස්තාන කණ්ඩායමේ නායකත්වය දරා ඇති අෆ්රිඩ් ඉන් තරග 17 ක් ජයගැනීම සඳහා කණ්ඩායම මෙහෙයවා ඇත.

ලොව පුරා විස්සයි20 තරග 319 කට ක්‍රීඩා කර ඇති ඔහු එහිදී ශතකයක් සහ අර්ධ ශතක 9 ක් සමග ලකුණු 4322 ක් රැස්කිරීමට සමත්ව ඇත්තේ 153.58 ක ලකුණු රැස්කිරීමේ වේගයක් රඳවාගනිමිනි. එහිදී කඩුලු 342 බිඳහෙළීමට අෆ්රිඩි සමත්ව ඇති අතර ඔහුගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 32.33 ක අගයක් ගනී.

ක්‍රීඩකයන් 20 දෙනෙකුගෙන් සමන්විත වන ගාල්ල කණ්ඩයමට විදෙස් ක්‍රීඩකයෝ 7 දෙනෙක් සහ දේශීය ක්‍රීඩකයෝ 13 දෙනෙක් ඇතුළත්ව සිටිති. අෆ්රිඩිට අමතරව මොහොමඩ් අමීර්, අසාම් ඛාන්, අහන් අලී සහ වකාස් මක්සූද් යන පාකිස්තාන ක්‍රීඩකයන්ද ගාල්ල කණ්ඩායමට ඇතුළත්ව සිටින අතර ඇෆ්ගනිස්තාන ක්‍රීඩක හස්රතුල්ලා සසායි සහ බටහිරි ඉන්දීය කෙදෙව් ක්‍රීඩක චැඩ්වික් වෝල්ටන් එම කණ්ඩායමේ සෙසු විදෙස් ක්‍රීඩකයෝ දෙදෙනා වෙති.

දකුණු අප්‍රිකානු ක්‍රීඩක කොලින් ඉන්ග්‍රම් සහ පාකිස්තාන ක්‍රීඩක සර්ෆරාස් අහමඩ්ද ක්‍රීඩකයන් තෝරාගැනීමේ මූලික අදියරේදී ගාල්ල කණ්ඩායමට ඇතුළත් වූහ. එහෙත් එංගලන්ත - දකුණු අප්‍රිකානු තරගාවලිය හේතුවෙන් ඉන්ග්‍රම්ද, පෞද්ගලික හේතුවක් මත අහමඩ්ද තරගාවලියෙන් ඉවත් වූහ.

උප නායක භානුක රාජපක්ෂ, ධනුෂ්ක ගුණතිලක, අකිල ධනංජය, මිලින්ද සිරිවර්ධන, ලක්ෂාන් සඳකැන්, ෂෙහාන් ජයසූරිය සහ අසිත ප්‍රනාන්දු වැනි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර වරම් හිමිකරගත් ක්‍රීඩකයෝ ගාල්ල කණ්ඩායම නියෝජනය කරති. එම කණ්ඩායමට ඇතුළත්ව සිටින නැගී එන ක්‍රීඩකයන් ලෙස නුවන් තුෂාර, මොහොමඩ් සිරාස්, ධනංජය ලක්ෂාන්, චානක රුවන්සිරි, සහන් ආරච්චිගේ සහ දුවිඳු තිලකරත්න යන ක්‍රීඩකයන් හැඳින්විය හැකිය.

ලසිත් මාලිංග ගාල්ල පිලට එක්නොවුණද මාලිංගගේම පන්දු යැවීමේ ඉරියව්ව අනුගමනය කරන, 26 හැවිරිදි නුවන් තුෂාර ගාල්ල පිලට එක්වී සිටී.

‍කණ්ඩා‍යමේ පුහුණුකරු ලෙස පාකිස්තාන ජාතික මොයින් ඛාන් මහතා කටයුතු කරන අතර වසීම් අක්‍රම් මහතා එහි උපදේශකවරයකු ලෙස කටයුතු කරයි.


ගාල්ල ග්ලැඩියේටර්ස් සංචිතය
ශහීඩ් අෆ්රිඩි, මොහොමඩ් අමීර්, අසාම් ඛාන්, අහන් අලී සහ වකාස් මක්සූද් (පාකිස්තානය), හස්රතුල්ලා සසායි (ඇෆ්ගනිස්තානය), චැඩ්වික් වෝල්ටන් (බටහිර ඉන්දීය කෙදෙව්), ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, අකිල ධනංජය, මිලින්ද සිරිවර්ධන, ලක්ෂාන් සඳකැන්, ෂෙහාන් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, නුවන් තුෂාර, මොහොමඩ් සිරාස්, ධනංජය ලක්ෂාන්, චානක රුවන්සිරි, සහන් ආරච්චිගේ සහ දුවිඳු තිලකරත්න


අදහස් (0)

ගාල්ලේම බර භානුක කරපිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.